ශු. ලූක් 22:40-65

ශු. ලූක් 22:40-65 SROV

උන්වහන්සේ ඒ ස්ථානයට පැමිණ සිටියදී කථාකොට: නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන ලෙස යාච්ඤා කරන්නැයි ඔවුන්ට කීසේක. ගලක් ගසන දුර පමණ උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන්වී, දණින් හිඳ යාච්ඤා කරමින්: පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේවී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි කීසේක. එකල ස්වර්ගයෙන් දේවදූතයෙක් උන්වහන්සේට පෙනී, උන්වහන්සේ ශක්තිමත්කළේය. උන්වහන්සේ මහත් වේදනා වින්දසේක් වඩා ඕනෑකමින් යාච්ඤාකළසේක. උන්වහන්සේගේ ඩාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය. උන්වහන්සේ යාච්ඤාවෙන් නැගිට, ගෝලයන් ළඟට ඇවිත්, ඔවුන් ශෝකයෙන් නිදාඉන්නවා දැක: නුඹලා නිදාඉන්නේ මක්නිසාද? පරීක්ෂාවට නොපැමිණෙන පිණිස නැගිට යාච්ඤාකරන්නැයි ඔවුන්ට කීසේක. උන්වහන්සේ කථාකරද්දීම, බලව, සමූහයක් ආවෝය; දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස් කියන අයද ඔවුන්ට පෙරටුව ඇවිත් යේසුස්වහන්සේ සිඹින පිණිස උන්වහන්සේට ළංවුණේය. යේසුස්වහන්සේද: යූදස්, නුඹ සිඹීමකින් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙනවාදැයි ඔහුට කීසේක. උන්වහන්සේ අවට සිටි අය පැමිණෙන්ට තිබෙන දේ දැක: ස්වාමිනි, කඩුවෙන් ගසමුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. ඔවුන්ගෙන් එක්තරා කෙනෙක් උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපාදැමීය. නුමුත් යේසුස්වහන්සේ උත්තරදෙමින්: මෙපමණකට ඉඩදෙන්නය කියා, ඔහුගේ කන අතගා සුවකළසේක. යේසුස්වහන්සේ තමන්ට විරුද්ධව ආවාවූ නායක පූජකයන්ටද දේවමාළිගාවේ අධිපතීන්ටද වැඩිමහල්ලන්ටද කථාකොට: නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩුමුගුරු රැගෙන ආවාහුද? දවස්පතා මා දේවමාළිගාවෙහි නුඹලා සමඟ සිටියදී නුඹලා මට විරුද්ධව අත් දිඟුකළේ නැත. නුමුත් මෙය නුඹලාගේ පැයත් අන්ධකාරයේ බලයත්යයි කීසේක. ඔව්හු උන්වහන්සේ අල්ලාගෙන යන්නාහු, උත්තම පූජකයාගේ ගෙදරට ගෙනගියෝය. එහෙත් පේතෘස් ඈතින් පස්සේ ගියේය. ඔවුන් ශාලාව මැද ගිනි පත්තුකොට, එකතුව හිඳගෙනඋන් කල, පේතෘස් ඔවුන් මැද හිඳගත්තේය. එවිට එක් යෞවනියෙක් ඔහු ගිනි ළඟ ඉන්නවා දැක, ඔහු දෙස හොඳට බලා: මොහුත් ඔහු සමඟ සිටියේයයි කීවාය. නැත, ස්ත්‍රිය, මම ඔහු නාඳුනමියි ඔහු කීවේය. ස්වල්ප වේලාවකට පසු වෙන කෙනෙක් ඔහු දැක: නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක්යයි කීවේය. පේතෘස්ද: මනුෂ්‍යය, මම එසේ නොවෙමියි කීවේය. පැයකට පමණ පසු තවත් එක්කෙනෙක් කථාකොටඃ සැබෑවටම මොහුත් ඔහු සමඟ සිටියේය. මක්නිසාද මොහු ගලීලෙයකැයි සැක නොකොට ස්ථිරලෙස කීවේය. පේතෘස්ද: මනුෂ්‍යය, නුඹ කියන දේ නොදනිමියි කීවේය. එකෙණෙහිම, ඔහු කථාකරද්දීම, කුකුළා හඬලීය. ස්වාමීන්වහන්සේ හැරී පේතෘස් දෙස බැලූසේක. පේතෘස්ද: අද කුකුළා හඬලන්ට පළමුවෙන් ඔහු නාඳුනමියි තුන් වරක් නුඹ මා ගැන කියන්නෙහියයි ස්වාමීන්වහන්සේ ඔහුට කී වචනය සිහිකොට, පිටතට ගොස්, බලවත් දුකින් හැඬුවේය. එකල යේසුස්වහන්සේ අල්ලාගෙන සිටි මනුෂ්‍යයෝ උන්වහන්සේට කවටකම්කරමින්, පහර දුන්නෝය. ඔව්හු උන්වහන්සේගේ ඇස් බැඳ: නුඹට ගැසුවේ කවුදැයි දිවැසින් කියන්නැයි උන්වහන්සේට කීවෝය. ඔව්හු තවත් බොහෝ දේ උන්වහන්සේට විරුද්ධව කියමින්, උන්වහන්සේට අපහාසකළෝය.