ශු. ලූක් 2:22-52

ශු. ලූක් 2:22-52 SROV

මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට ඔවුන්ගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවූ කල: කුලුඳුල්වූ සියලු පිරිමි ස්වාමීන්වහන්සේට කැපයයි කියනු ලබන්නෝයයි ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස, උන්වහන්සේ ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිසද, ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි කියා තිබෙන හැටියට කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජාකරන පිණිසද, ඔව්හු උන්වහන්සේ යෙරුසලමට ගෙනාවෝය. බලව, යෙරුසලමෙහි සිමියොන් නම් මනුෂ්‍යයෙක් සිටියේය; මේ මනුෂ්‍යයා ඉශ්‍රායෙල්ගේ සැනසීම බලා සිටියාවූ ධර්මිෂ්ඨවූ භක්තිවන්තවූ කෙනෙක්ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු කෙරෙහිවූසේක. ස්වාමීන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ දකින්ට පළමුවෙන් ඔහු මරණය නොදක්නේය කියා ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ඔහුට එළිදරව්කර තිබුණේය. ඔහු ආත්මයාණන් කරණකොටගෙන දේවමාළිගාවට ආවේය. ළදරු යේසුස්වහන්සේට ව්‍යවස්ථාවේ සිරිත ලෙස කරන පිණිස මවුපියන් විසින් උන්වහන්සේ ගෙනා විට, ඔහු උන්වහන්සේ දෑතින් වඩාගෙන දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින් කියනුයේ: ස්වාමීන්වහන්ස, දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරිනසේක; මක්නිසාද අන්‍යජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද ඔබගේ ඉශ්‍රායෙල් සෙනඟගේ තේජසදවූ සියලු මනුෂ්‍යයන් ඉදිරියෙහි ඔබ විසින් පිළියෙළකළාවූ ගැළවීම මාගේ ඇස්වලින් දුටිමියි කීවේය. උන්වහන්සේ ගැන කී කාරණාවලට උන්වහන්සේගේ පියාද මෑණියෝද මවිතවෙමින් සිටියෝය. සිමියොන් ඔවුන්ට ආශීර්වාදකර, උන්වහන්සේගේ මවුවූ මරියාට කථාකොට: බලව, මේ ළදරුවා ඉශ්‍රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම පිණිසත් නැගිටීම පිණිසත් විරුද්ධව කථාකරනු ලබන ලකුණක් පිණිසත් නියමවී සිටියි; එසේය, නුඹේම ආත්මයට කඩුවකින් අනිනු ලැබේ; මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත්හි කල්පනා එළිදරව්වන පිණිසයයි කීවේය. තවද ආෂෙර්ගේ ගෝත්‍රයේ ඵානුයෙල්ගේ දූවූ, ඉතා වයස්ගතවූ, ආනා නම් අනාගතවක්ත්‍රියක් සිටියාය. ඈ කන්‍යාවස්ථාවෙහි සිට සත් අවුරුද්දක් ස්වාමි පුරුෂයෙකු සමඟ වාසයකළාය, අවුරුදු අසූහතරක්ම ඈ වැන්දඹුවක්ව සිටියාය; ඈ දේවමාළිගාවෙන් අහක්ව නොගොස්, රෑ දාවල් දෙක්හි නිරාහාරයෙන් ඉඳ යාච්ඤාකරමින් නමස්කාරකළාය. ඈද ඒ පැයෙහිම ඇවිත් දෙවියන්වහන්සේට ස්තුතිකොට, යෙරුසලමේ මිදීම ගැන බලාසිටි සියලුදෙනාට උන්වහන්සේ ගැන කථාකළාය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියල්ල ඉෂ්ටකළ පසු, ගලීලයෙහිවූ නාසරෙත් නම් තමුන්ගේම නුවරට හැරී ගියෝය. ළදරුවා වැඩී, ශක්තිමත්ව, ප්‍රඥාවෙන් පූර්ණවූසේක. දෙවියන්වහන්සේගේ කරුණාවද උන්වහන්සේ කෙරෙහි විය. උන්වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු මංගල්‍යය පිණිස යෙරුසලමට ගියෝය. උන්වහන්සේට දොළොස් අවුරුදු වයස්වූ කල ඔව්හු මංගල්‍ය සිරිත් ලෙස ගියෝය. ඔවුන් නියම දවස් ගතකොට හැරී එද්දී, යේසුස් නම් ළමයා යෙරුසලමෙහි නැවතී සිටිසේක; නුමුත් උන්වහන්සේගේ මවුපියෝ ඒ බව නොදැන, උන්වහන්සේ ගමන් යන අය සමඟයයි සිතා, දවසක ගමන් ගොස්, නෑයන්ද අඳුනන්නවුන්ද අතරෙහි උන්වහන්සේ සෙවුවෝය. උන්වහන්සේ සම්බ නුවූ බැවින්, ඔව්හු උන්වහන්සේ සොයමින් යෙරුසලමට ආපසු ගියෝය. තවද තුන් දවසකට පසු, උන්වහන්සේ දේවමාළිගාවෙහි පණ්ඩිතයන් මැද වාඩිවී, ඔවුන් කියන දේ අසමින්ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින්ද ඉන්නවා ඔව්හු දුටුවෝය. උන්වහන්සේගේ බස් ඇසූ සියල්ලෝම උන්වහන්සේගේ නුවණ හා උත්තර ගැන විස්මිත වූහ. ඔව්හු උන්වහන්සේ දැක මවිතවූවෝය. උන්වහන්සේගේ මෑණියෝ: පුත්‍රය, කුමක් නිසා අපට මෙසේ කෙළෙහිද? බලව, නුඹේ පියාද මමද සෝකවෙමින් නුඹ සෙවුවෙමුයයි කීවාය. එවිට උන්වහන්සේ: නුඹලා මා සෙවුවේ මක්නිසාද? මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි මා සිටින්ට ඕනෑ බව නුඹලා දැන සිටියේ නැද්දැයි ඔවුන්ට කීසේක. නුමුත් උන්වහන්සේ ඔවුන්ට කී කීම ඔවුන් තේරුම්ගත්තේ නැත. උන්වහන්සේ ඔවුන් සමඟ ගොස් නාසරෙත්ට පැමිණ, ඔවුන්ට යටත්ව සිටිසේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියලු කීම් සිතේ තබාගත්තාය. යේසුස්වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද වැඩුණුසේක.

මෙයට අදාළ වීඩියෝ