ශු. ලූක් 19:12-26

ශු. ලූක් 19:12-26 SROV

එබැවින් උන්වහන්සේ කථාකොට: එක්තරා වංශවත් මනුෂ්‍යයෙක් තමාටම රාජ්‍යයක් ලබාගෙන නැවත එන පිණිස දුර රටකට ගියේය. ඔහු තමාගේ දාසයන් දසදෙනෙකුට අඬගසා, ඔවුන්ට පවුම් දසයක් දී: මා එන තෙක් මෙයින් වෙළඳාම්කරන්නැයි කීවේය. එහෙත් ඔහුගේ නුවර වැසියෝ ඔහුට වෛරවී: මේ මනුෂ්‍යයා අප කෙරෙහි රජකම්කරනවාට නොකැමැත්තෙමුයයි ඔහු පස්සේ පණිවිඩයක් ඇරියෝය. තවද ඔහු රාජ්‍යය ලබාගෙන ඇවිත්, තමා විසින් මිල දුන් දාසයෝ වෙළඳාමෙන් කොපමණ උපදවාගත්තෝදැයි දැනගන්නා පිණිස ඔවුන් තමා ළඟට කැඳවන්ට අණකළේය. එවිට පළමුවෙනියා ඔහු ඉදිරියට ඇවිත්: ස්වාමීනි, ඔබගේ පවුමෙන් පවුම් දසයක් ඉපදවීමියි කීවේය. ඔහුද: ඉතා හොඳය, යහපත්වූ දාසය. නුඹ ඉතා ස්වල්පයක් ගැන විශ්වාසවූ බැවින් නුවරවල් දසයක් කෙරෙහි අධිපතිවෙන්නැයි ඔහුට කීවේය. දෙවෙනියාද ඇවිත්: ස්වාමීනි, ඔබගේ පවුමෙන් පවුම් පහක් ඉපදවීමියි කීවේය. එවිට ඔහු: නුඹත් නුවරවල් පහක් කෙරෙහි අධිපතිවෙන්නැයි ඔහුට කීවේය. තවත් එක්කෙනෙක් ඇවිත්: ස්වාමීනි, මෙන්න, ඔබගේ පවුම! එය රෙදිකඩක ඔතා තැබීමි. මක්නිසාද ඔබ නොතිබූ දේ ගන්නාවූ, නොවපුළ දේ කපන්නාවූ, කර්කස කෙනෙකු බැවින්, ඔබට භයවූයෙමියි කීවේය. එවිට ඔහු කථාකොට: දුෂ්ටවූ දාසය, නුඹේම කටින් නුඹ විනිශ්චයකරමි. මා නොතිබූ දේ ගන්නාවූ, නොවපුළ දේ කපන්නාවූ, කර්කස කෙනෙක් බව නුඹ දැනගෙන සිටියෙහිය; එසේ නම් මා ආ කල්හි පොළිත් සමඟ අයකරගන්න පිණිස මාගේ මුදල බැංකුවට නුදුන්නේ මක්නිසාද කියා, ළඟ සිටියවුන්ට කථාකොට: පවුම ඔහුගෙන් රැගෙන පවුම් දසය ඇත්තාට දෙන්නැයි කීවේය. එවිට ඔව්හු: ස්වාමීනි, ඔහුට පවුම් දසයක් ඇත්තේයයි කීවෝය. ඇත්තාවූ සියල්ලන්ට දෙනු ලැබේ; නැති අයගෙන් ඔහුට ඇති දේත් පැහැරගනු ලැබේයයි නුඹලාට කියමි.