ශු. ලූක් 18:2-14

ශු. ලූක් 18:2-14 SROV

දෙවියන්වහන්සේට භය නැත්තාවූ, මනුෂ්‍යයන්ට ගරු නොකළාවූ විනිශ්චයකාරයෙක් එක් නුවරක සිටියේය. ඒ නුවර වැන්දඹුවක්ද සිටියාය; ඈ නොයෙක්වර ඔහු ළඟට ගොස්: මාගේ විරුද්ධකාරයා ගැන මට යුක්තිය කළමැනවයි කීවාය. ඔහු කලක් නොකැමතිවිය. පසුව ඔහු තමා තුළ කථාකොට: මම දෙවියන්වහන්සේට භය නොවෙම් නුමුත්, මනුෂ්‍යයන්ට ගරු නොකරම් නුමුත්, මේ වැන්දඹුව මට කරදරකරන හෙයින්, ඈ නිතර ඊමෙන් මා නොපෙළෙන පිණිස, ඈට යුක්තිය කරන්නෙමියි කීයේයයි කීසේක. එවිට ස්වාමීන්වහන්සේ කියනසේක්: මේ අධිර්මිෂ්ඨ විනිශ්චයකාරයා කියන දේ අසන්න. දෙවියන්වහන්සෙත් තමන්ට රෑ දාවල් හඬගසන්නාවූ තමන් තෝරාගත්තවුන් ගැන යුක්තිය ඉෂ්ට නොකරනසේක්ද? උන්වහන්සේ ඔවුන් කෙරෙහි බොහෝ ඉවසිල්ලෙන් සිටිනසේක. උන්වහන්සේ ඔවුන්ට වහාම යුක්තිය ඉෂ්ටකරනසේකැයි නුඹලාට කියමි. එසේවී නුමුත් මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි පොළොවේ ඇදහිල්ල සම්බවේදැයි කීසේක. තවද තුමූම ධර්මිෂ්ඨයෝයයි විශ්වාසකොට, අනික් සියල්ලන් සුළුකළාවූ සමහරෙකුට උන්වහන්සේ මේ උපමාවද කියනසේක්: මනුෂ්‍යයෝ දෙදෙනෙක් යාච්ඤාකරන පිණිස දේවමාළිගාවට නැගී ගියෝය; එක්කෙනෙක් ඵරිසියෙක්ය, අනික් තැනැත්තා සුංගම් අයකරන්නෙක්ය. ඵරිසියා සිටගෙන තමා තුළ යාච්ඤාකරමින්: දෙවියන්වහන්ස, මම කොල්ලකාරවූ අධිර්මිෂ්ඨවූ කාමමිථ්‍යාචාරිකවූ අනික් මනුෂ්‍යයන් මෙන් කෙනෙක්වත් මේ සුංගම් අයකරන්නාමෙන් කෙනෙක්වත් නොවන බැවින් ඔබවහන්සේට ස්තුතිකරමි. සතියකට දෙවරක් නිරාහාරයෙන් සිටිමි; මට ලැබෙන සියල්ලෙන් දසයෙන් කොටස දෙමියි කීවේය. නුමුත් සුංගම් අයකරන්නා දුරින් සිට, ස්වර්ගය දෙසට ඇස් ඔසවා බලන්ටවත් නොසිතා, තමාගේ ළැපැත්තට ගසාගනිමින්: දෙවියන්වහන්ස, පව්කාරයෙක්වූ මට කරුණාකළ මැනවයි කීවේය. නුඹලාට කියමි–අනික් තැනැත්තා නොව මොහු ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබ තමාගේ ගෙදරට ගියේය. මක්නිසාද තමුන්ම උසස්කරගන්න හැමදෙනා යටත්කරනු ලබන්නෝය; තමාම යටත්කරගන්නා උසස්කරනු ලබන්නේයයි කීසේක.