ශු. ලූක් 12:16-34
ශු. ලූක් 12:16-34 SROV
උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්: එක් වස්තුකාරයෙකුගේ බිමෙහි බොහෝ භෝග හටගත්තේය. එවිට ඔහු තමාගේ සිත තුළ කල්පනාකරනුයේ: කුමක් කරම්ද? මාගේ භෝග රැස්කර තබන්ට ඉඩ නැත. මම මෙසේ කරමි: මාගේ ගබඩා කඩාදමා, වඩා ලොකු ඒවා ගොඩනගා, එහි මාගේ සියලු ධාන්‍යද බඩුද රැස්කර තබා– ප්‍රාණය, නුඹට බොහෝ අවුරුදු ගණනකට හොඳවූ බොහෝ දේ රැස්කර තිබේ. පහසුගෙන, කා බී, ප්‍රීතියෙන් සිටින්නැයි මාගේ ප්‍රාණයට කියමියි කීවේය. නුමුත් දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: අඥානය, අද රාත්‍රියේදී නුඹේ ප්‍රාණය නුඹෙන් අයකරනු ලැබේ; එවිට නුඹ සූදානම්කරගත් දේ කාට වන්නේදැයි කීසේක. දෙවියන්වහන්සේ කෙරෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස්කරගන්න අය එයාකාරයයි කීසේක. තවද උන්වහන්සේ තමන් ගෝලයන්ට කියනසේක්: එහෙයින් නුඹලාට කියමි–කුමක් කමුද කියා ජීවිතය ගැනවත්–කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. මක්නිසාද කෑමට වඩා ජීවිතයද ඇඳීමට වඩා ශරීරයද උතුම්ය. කපුටුවන් ගැන කල්පනාකර බලන්න: උන් වපුරන්නේවත් කපන්නේවත් නැත; උන්ට අටුවක්වත් ගබඩාවක්වත් නැත; නුමුත් දෙවියන්වහන්සේ උන් පෝෂණයකරනසේක. නුඹලා පක්ෂීන්ට වඩා කොපමණ වටින්නහුද! කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක්වත් වැඩිකරගන්ට නුඹලා අතරෙන් කවරෙකුට පුළුවන්ද? ඉඳින් සුළු දෙයක්වත් කරගන්ට නුඹලාට බැරි නම්, නුඹලා අනික් කාරණා ගැන කනස්සලුවන්නේ මක්නිසාද? මානෙල් වැඩෙන හැටි කල්පනාකරන්න. ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත; එහෙත් තමාගේ මුළු ඉසුරුමත්කමේදී සාලමොන්වත් මේවායින් එකක් ලෙස පැළඳී සිටියේ නැතැයි නුඹලාට කියමි. විශ්වාසය මදි තැනැත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතෙහි තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවනසේක්ද? එබැවින් නුඹලා කරන්නේ මොනවාද බොන්නේ මොනවාදැයි නොසොයන්න, සැක නොසිතන්න. මක්නිසාද මේ සියල්ල ලෝකයේ ජාතීහු සොයති. මේ දේවල් නුඹලාට වුවමනා බව නුඹලාගේ පියාණන්වහන්සේ දන්නාසේක. එහෙත් උන්වහන්සේගේ රාජ්‍යයම සොයන්න, එවිට මේ දේවලුත් නුඹලාට දෙනු ලබන්නේය. කුඩා රැළ, භය නොවෙන්න; මක්නිසාද නුඹලාට රාජ්‍යය දෙන්ට නුඹලාගේ පියාණන්වහන්සේ ප්‍රසන්නව සිටිනසේක. නුඹලා සන්තක දේ විකුණා දන් දෙන්න; පරණ නොවන පසුම්බිද නැති නොවන වස්තුවක්ද ස්වර්ගයෙහි නුඹලාට සපයාගන්න; එහි සොරෙක් ළංවන්නේවත් කාවෙක් කන්නේවත් නැත. මක්නිසාද නුඹලාගේ වස්තුව තිබෙන්නේ යම් තැනකද නුඹලාගේ සිතත් එහිම තිබෙන්නේය.

