ශු. ලූක් 10:1-16

ශු. ලූක් 10:1-16 SROV

ඉන්පසු ස්වාමීන්වහන්සේ තවත් සැත්තෑ දෙනෙකු නියමකොට තමන් යන්ට සිටිය සියලු නුවරවලටත් ස්ථානවලටත් ඔවුන් දෙදෙනා බැගින් තමන්ට පෙරටුව යැවූසේක. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ගොයම බොහෝය, මෙහෙකරුවෝ ස්වල්ප දෙනෙක්ය. ඒ නිසා තමන්ගේ ගොයම් කැපීමට මෙහෙකරුවන් එවන ලෙස ගොයමේ ස්වාමීන්වහන්සේට යාච්ඤා කරන්න. නුඹලා යන්න. බලව, වෘකයන් මැදට බැටළු පැටවුන් මෙන් නුඹලා යවමි. පසුම්බියක්වත් මල්ලක්වත් වහන්වත් ගෙන නොයන්න. මාර්ගයේදී කාටවත් ආචාර නොකරන්න. නුඹලා යම් ගෙයකට ඇතුල්වූ කල: මේ ගෙට සමාදානය වේවයි පළමුකොට කියන්න. සමාදානයේ පුත්‍රයෙක් එහි සිටී නම් නුඹලාගේ සමාදානය ඔහු කෙරෙහි රඳන්නේය. නැතහොත් එය නුඹලා කරා පැමිණෙන්නේය. ඔවුන් දෙන දෙයක් කමින් බොමින් එම ගෙයිම නැවතී සිටින්න. මක්නිසාද වැඩකාරයා තමාගේ කුලිය ලබන්ට සුදුසුය. ගෙයින් ගෙට නොයන්න. නුඹලා යම් නුවරකට ඇතුල්වූ කල ඔව්හු නුඹලා පිළිගන්නෝ නම්, නුඹලා ඉදිරියෙහි තබන දේ කන්න. එහි ඉන්න රෝගීන් සුවකරන්න. දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා ළඟට පැමුණුණේයයි ඔවුන්ට කියන්න. නුමුත් යම් නුවරකට නුඹලා ඇතුල්වූ කල ඔව්හු නුඹලා පිළිනොගන්නෝ නම් ඒ නුවර වීථිවලට ගොස්: අපේ පාදවල ඇලෙන නුඹලාගේ නුවර ධූලී පවා නුඹලාට විරුද්ධව අපි ගසාදමමුව. එසේවී නුමුත් දෙවියන්වහන්සේ රාජ්‍යය ළංවී තිබෙන බව දැනගන්නැයි කියන්න. නුඹලාට කියමි–ඒ දවසෙහි ඒ නුවරට වඩා සොදොමට ඉවසිය හැකි වන්නේය. කොරාශින්, නුඹට දුක්වේ! බෙත්සයිදා, නුඹට දුක්වේ! නුඹ ඇතුළේ කළ බලවත් ක්‍රියා තීර් හා සීදොන්හි කළා නම්, ඔව්හු මීට ප්‍රථම ගෝනිරෙදි ඇඳ, අලුයෙහි ඉඳ, පසුතැවිල්ලට පැමුණුණෝ වෙති. එසේවී නුමුත් විනිශ්චයෙහිදී නුඹට වඩා තීර් හා සීදොන්ට ඉවසිය හැකිවන්නේය. එම්බා කපර්ණවුම, නුඹ ස්වර්ගය දක්වා උසස්කරනු ලබන්නීද? පාතාලය දක්වා පහතට හෙළනු ලබන්නීය. නුඹලාගේ වචන අසන්නා මාගේ වචන අසයි; නුඹලා එපාකරන්නා මා එපාකරයි; මා එපාකරන්නා මා එවූ තැනන්වහන්සේ එපාකරන්නේයයි කීසේක.