විලාප ගී 1:9-16

විලාප ගී 1:9-16 SROV

ඇගේ අපවිත්‍රකම ඇගේ වස්ත්‍ර පිට තිබුණේය; ඈ තමාගේ මතු කාලය සිහි නොකළාය; එබැවින් ඈ පුදුමලෙස පහළ බැස්සාය; ඈට සැනසිලිකාරයෙක් නැත. ස්වාමීන්වහන්ස, මාගේ දුක බැලුව මැනව; මක්නිසාද සතුරා උඩඟුකම්කෙළේය. එදිරිකාරයා ඇගේ සියලු ප්‍රියවූ දේ පිට තමාගේ අත හෙළුවේය. මක්නිසාද ඔබගේ සභාවට ඇතුල් නොවෙන හැටියට ඔබ අණකළ ජාතීන් ඇගේ ශුද්ධස්ථානයට ඇතුල්වෙනවා ඈ දුටුවාය. ඇගේ මුළු සෙනඟ කෑම සොයමින් සුසුම්ලති; පණ රැකගන්න පිණිස ඔව්හු තමුන්ගේ ප්‍රිය දේ ආහාර වෙනුවට දුන්නෝය. ස්වාමීන්වහන්ස, මා නීචවී සිටින බව බලා සැලකුව මැනව. මග යන සියල්ලෙනි, නුඹලා මෙය නොසලකන්නහුද? මට පැමිණ තිබෙන්නාවූ, ස්වාමීන්වහන්සේ තමන් බලවත් උදහසේ දවසේදී මට පැමිණෙවුවාවූ මාගේ ශෝකය වැනි ශෝකයක් ඇද්දැයි බලා දැනගන්න. උන්වහන්සේ ඉහළින් මාගේ ඇට තුළට ගින්න එවූසේක, එය එහි බලය පවත්වයි. උන්වහන්සේ මාගේ පාදවලට දැලක් හෙළූසේක, මා පස්සට හැරවූසේක; මා පාළුවක්ද දවස මුළුල්ලේ බෙලහීනයෙක්ද කළසේක. මාගේ අපරාධ නැමති වියගහ බැඳ තිබෙන්නේ උන්වහන්සේගේ අතින්ය; ඒවා ගෙතී මාගේ බෙල්ල පිට ඝනවී තිබේ; එයින් මාගේ ශක්තිය හීනවිය. මට නැගිටින්ට බැරිලෙස සතුරන් අතට ස්වාමීන්වහන්සේ මා පාවා දුන්සේක. මා තුළ සිටි මාගේ සියලු බලවතුන් ස්වාමීන්වහන්සේ හෙළාදැක්ක සේක; මාගේ යෞවනයන් සුන්කරන්ට උන්වහන්සේ මට විරුද්ධව මංගල්‍ය සභාවක් අඬගසාගත්සේක. ස්වාමීන්වහන්සේ මිදි පැසක් මෙන් යූදාගේ කන්‍යා දුව පෑගූසේක. මේ දේවල් නිසා අඬමි; මාගේ ඇසින්, එසේය, මාගේ ඇසින් කඳුළු ගලන්නේය; මක්නිසාද මා ප්‍රාණවත්කරන්නාවූ සැනසිලිකාරයා මාගෙන් ඈත්ව සිටියි. සතුරා ජයගත් බැවින් මාගේ දරුවෝ අසරණව සිටිති.