ජෝවෙල් 2:1-11
ජෝවෙල් 2:1-11 SROV
සියොන්හි හොරණෑව පිඹ, මාගේ ශුද්ධවූ කන්දෙහි මහත් ශබ්දයක් පවත්වන්න; දේශයේ සියලු වැසියෝ වෙවුලත්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙයි, ඒක ළංව තිබේ; ඒක අඳුරුවූ කළුවරවූ දවසක්ය, වලාකුල්ද තද අන්ධකාරයද ඇති දවසක්ය; කඳු පිට අලුයම් එළිය පැතිරයන්නාක්මෙන් මහත්වූ බලවත්වූ සෙනඟක් එන්නේය; ඒ ආකාර සෙනඟක් කවදාවත් සිටියේ නැත, ඉන්පසු බොහෝ පරම්පරාවල අවුරුදු දක්වාම එසේ සිටින්නෙත් නැත. උන්ට පෙරටුවෙන් ගින්නක් නාස්තිකරන්නේය; උන්ට පස්සෙන් ගිනිදැල්ලක් ඇවිළෙන්නේය. උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබී, උන්ට පස්සෙන් පාළු කාන්තාරයක් වන්නේය; උන්ගෙන් කිසිවක් නොගැළවුණේය. උන්ගේ පෙනීම අසුන්ගේ පෙනීම මෙන්ය; උන් අසරුවන් මෙන් දුවති. කඳු මුදුන් පිට යන්නාවූ රථ ශබ්දය මෙන්ද ඉපනැලි දවන ගිනිදැල්ලේ ශබ්දය මෙන්ද යුද්ධ පිළිවෙළට සිටින බලවත් සෙනඟක් මෙන්ද උන් පනින්නෝය. උන් ඉදිරියෙහි ජනයෝ වෙවුලති. සියලු මුහුණු සුදුමැලිවී තිබේ. උන් බලවතුන් මෙන් දුවති; යුද්ධකාරයන් මෙන් පවුරට නගිති; උන් තමුන්ගේ මාවත්වලින් අහක් නොවී, එක එකා තම තමාගේ මාර්ගයෙන්ම යන්නෝය. උන් එකිනෙකාට නොහැපී, තම තමාගේ පාරවලම යන්නෝය. උන් යුද්ධායුධ අතරේ වැටුණත් තුවාලවන්නේ නැත. උන් නුවර එහාමෙහා දුවති; පවුර පිට නැගීයති; ගෙවල්වලට නගිති; සොරෙකු මෙන් කවුළුවලින් ඇතුල්වෙති. උන් ඉදිරියෙහි පොළොව වෙවුලන්නේය; අහස සෙලවෙන්නේය. ඉර හඳ අඳුරුවන්නේය, තාරකාවල දිලිහීමද නවතින්නේය. ස්වාමීන්වහන්සේ තමන්ගේ සේනාවට පෙරටුවෙන් ස්වකීය හඬ පවත්වනසේක; මක්නිසාද උන්වහන්සේගේ හමුදාව ඉතා මහත්ය; උන්වහන්සේ තමන් වචන ඉෂ්ටකරමින් බලවත්ව සිටිනසේක. එසේය, ස්වාමීන්වහන්සේගේ දවස මහත්ව ඉතා භයංකරව තිබේ; එය දරන්ට කාට පුළුවන්ද?


