ජෝබ් 31

31
(යෝබ්ගේ නිර්දෝෂකම කියා සිටීම.)
1මාගේ ඇස් සමඟ ගිවිසුමක් කෙළෙමි;
එබැවින් කන්‍යාවක් දෙස බලන්නේ කොහොමද?
2ඉහළ සිටින දෙවියන්වහන්සේගෙන් ලැබෙන කොටසත් උසස් තැන්හි සිටින සර්වපරාක්‍රමයාණන්ගෙන් ලැබෙන උරුමයත් කිමෙක්ද?
3අධර්මිෂ්ඨයාට විනාශයත් අයුතුකම්කරන්නන්ට විපත්තියත් නොවේද?
4උන්වහන්සේ මාගේ මාර්ග දැක, මාගේ සෑම අඩි ගණන්කරනවා නොවේද?
5මා බොරුකාරකමෙන් හැසිරෙන්ටත් මාගේ පය වංචාවට ඉක්මන්වෙන්ටත් යෙදුණා නම්,
6(උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නමැති තරාදියෙන් මා කිරාබලනසේක්වා, එවිට දෙවියන්වහන්සේ මාගේ අවංකකම දැනගන්නවා ඇත;)
7මාගේ අඩිය මාර්ගයෙන් අහක්ව යන්ටත්, මාගේ සිත මාගේ ඇස් අනුව යන්ටත්, මාගේ අත්වලට කිසි කිලුටක් ඇලෙන්ටත් යෙදුණා නම්,
8මා වපුරන ඒවා වෙන කෙනෙක් අනුභව කෙරේවා;
එසේය, මාගේ කෙතේ අස්වැන්න උදුරාදමනු ලැබේවා.
9මාගේ සිත ස්ත්‍රියෙක් කෙරෙහි ඇදීගියේ නම්, මම මාගේ අසල්වාසියාගේ දොරකඩ ළඟ රැක සිටියෙම් නම්,
10මාගේ භාර්යාව වෙන කෙනෙකුට ධාන්‍ය අඹරාවා, අන්‍යයෝද ඈ සමඟ සයනයකෙරෙත්වා.
11මක්නිසාද එය දූෂ්‍ය අපරාධයක්ය;
එසේය, එය විනිශ්චයකාරයන් විසින් දඬුවම්කළ යුතුවූ අයුතුකමක්ය.
12එය විනාශය දක්වාම දවන ගින්නක්ය, එයින් මාගේ මුළු සම්පත උදුරාදමනු ලබන්නේය.
13මාගේ වැඩකාරයාවත් වැඩකාරීවත් මා සමඟ විවාදකරන විට මම ඔවුන්ගේ යුක්තිය නොසලකා ඇරියෙම්නම්,
14දෙවියන්වහන්සේ නැගිටින විට මම කුමක් කරම්ද?
උන්වහන්සේ විභාගකරන කල මා කවර උත්තරයක් දෙන්ටද?
15කුසෙහි මා සෑදූ උන්වහන්සේ ඔහුත් නොසෑදූසේක්ද?
ගර්භයෙහි අප තැනුවේ එක්කෙනෙක්ම නොවේද?
16(පියා නැත්තා මාගේ බාල වයසේ පටන් පිය කෙනෙකු ළඟ මෙන් මා ළඟ ඇතිකළාවූද මාගේ මවු කුස පටන් වැන්දඹුවට ආධාරවුණාවූද මම)
17දුප්පතුන් ආශාවූ දේ ඔවුන්ගෙන් වැලැක්වීම් නම්, නොහොත් වැන්දඹුවගේ ඇස් ක්ෂය වෙන්ට සැලැස්වීම් නම්,
18පියා නැත්තාට මාගේ කොටසෙන් කන්ට නොදී තනියම ඒක කෑවෙම් නම්,
19යමෙක් වස්ත්‍ර නැතිකමින් නසින බවත් දිළින්දාට වැස්මක් නැති බවත් මා දුටු විට,
20මට ආශීර්වාදකරන හැටියට ඔහුගේ ඉඟටිය මාගේ බැටළු ලොම්වලින් උණුහුම් නොවී නම්,
21මාගේ උපකාරකාරයෙක් දොරටුවේ සිටිනවා මා දුටු නිසා පියා නැත්තාට විරුද්ධව මාගේ අත එසවීම් නම්,
22මාගේ උරහිස ඒකේ සන්ධිස්ථානයෙන් ගැළවී වැටෙවා, මාගේ හස්තය ඒකේ වැලමිටේන් බිඳීයේවා.
23මක්නිසාද දෙවියන්වහන්සේගෙන් පැමිණෙන විනාශය මට භීතියක් විය, උන්වහන්සේගේ මහන්තත්ත්වය ඉදිරියෙහිද මට කිසිවක් කළ නොහැකිවිය.
24මම රත්රන් මාගේ බලාපොරොත්තුව කොට ගතිම් නම්, නුඹ මාගේ විශ්වාසයයයි පවිත්‍ර රනට කීයෙම් නම්,
25මාගේ සම්පත වැඩි නිසාත් මාගේ අත හුඟක් සම්බකරගත් නිසාත් ප්‍රීතිවීම් නම්,
26ඉර බැබළෙන හැටිද හඳ දීප්තිමත්ව ගමන්කරන බවද මා දුටු විට
27මාගේ සිත රහසින් පෙලඹී, මාගේ මුඛය මාගේ අත සිඹගත්තේ නම්,
28ඉහළ සිටින දෙවියන්වහන්සේ මා විසින් එපාකළ නිසා, ඒකත් විනිශ්චයකාරයන් විසින් දඬුවම්කළ යුතු අපරාධයක්ය.
29මට වෛරවූ අයට පැමිණි විනාශයට මම සන්තෝෂවී, ඔහු විපත්තියට අසුවූ විට ප්‍රීතිවීම්නම්,
30(එසේය, ඔහුගේ ජීවිතයට විරුද්ධව දෙස් කීමෙන් මාගේ මුඛයට පව්කරන්ට ඉඩනෑරියෙමි;)
31ඔහුගේ කෑමෙන් තෘප්තිමත් නොවූ කෙනෙක් පෙන්වන්නේ කවුදැයි මාගේ කූඩාරමේ මනුෂ්‍යයෝ නොකීවෝ නම්,
32අමුත්තා රාත්‍රිය එළියේ පසු නොකෙළේය;
ගමන්කාරයාට මාගේ දොරවල් ඇරියෙමි;
33මාගේ අයුතුකම මාගේ ළයේ සඟවා ගනිමින් මනුෂ්‍ය අන්දමින් මාගේ අපරාධ වැසීම් නම්,
34මහත් සමූහයාට මා භයවූ නිසාත්, පවුල්වල හෙළාදැක්ම මා කැලඹුව නිසාත්, මා නිශ්ශබ්දව සිටි ගෙයින් පිට නොගියෙමි නම්–
35අහෝ, මාගේ බස් අසන කෙනෙක් මට ඇත්නම්!
(මෙන්න, මාගේ අත්සන තබමි, සර්වපරාක්‍රමයාණෝ මට උත්තරදෙනසේක්වා;)
මාගේ එදිරිකාරයා මට විරුද්ධව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!
36සැබවින් ඒක මාගේ කර පිට තබා ගන්නෙමි;
ඔටුන්නක් මෙන් බැඳගන්නෙමි.
37මාගේ අඩිවල ගණන උන්වහන්සේට කියා සිටින්නෙමි;
අධිපතියෙකු මෙන් උන්වහන්සේ ළඟට යන්නෙමි.
38මාගේ බිම මට විරුද්ධව කෑගසා නම්, එහි සියලු හීවිටි අඬා පැමිණිලි කෙරේනම්,
39මම මිල නොදී ඒකේ අස්වැන්න කා, ඒකේ අයිතිකාරයන්ගේ ප්‍රාණ හානි කෙළෙම් නම්,
40තිරිඟු වෙනුවට කටුගස්ද යව වෙනුවට වල්ගස්ද වැවේවායි කීවේය.
යෝබ්ගේ වචන නිමි.

දැනට තෝරාගෙන ඇත:

ජෝබ් 31: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න