ජෝබ් 19:8-25

ජෝබ් 19:8-25 SROV

මා පිටත නොයන හැටියට උන්වහන්සේ මාගේ පාර අහුරා, මාගේ මාවත්වල අන්ධකාරය තබා තිබේ. උන්වහන්සේ මාගේ ඉසුර මාගෙන් උදුරාදමා, මාගේ හිසෙන් ඔටුන්න පහකර තිබේ. මා නැතිවීයන හැටියට වටකරින් උන්වහන්සේ මා කඩාදමා, මාගේ බලාපොරොත්තුව ගහක්මෙන් උදුරා දැමූසේක. උන්වහන්සේ තමන් උදහස මට විරුද්ධව අවුළුවා, තමන්ගේ එදිරිකාරයෙකු ලෙස මා ගණන්ගන්නාසේක. උන්වහන්සේගේ හමුදාවෝ එක්ව ඇවිත් මට විරුද්ධව තමුන්ගේ මාර්ගය උසට ගොඩනගා, මාගේ කූඩාරම වටකරින් කඳවුරු බඳිති. උන්වහන්සේ මාගේ සහෝදරයන් මා වෙතින් දුරුකළසේක, මාගේ ඇඳුනුම්කාරයෝද මාගෙන් සම්පූර්ණයෙන්ම වෙන්වුණෝය. මාගේ නෑයෝ අහක්වී, මාගේ හිතේසි මිත්‍රයෝ මා මතක නැතිකළෝය. මාගේ ගෙදර නැවතී සිටින්නෝද මාගේ වැඩකාරියෝද මා අන්‍යයෙකු කොට ගණන්ගනිති. ඔවුන්ට මම විදේශියෙකු මෙන්ය. මාගේ වැඩකාරයාට අඬගැසුවත් ඔහු මට උත්තර නොදෙයි, මාගේ මුඛයෙන් ඔහුට කන්නලව් කරන්ට සිදුවී තිබේ. මාගේ හුස්ම මාගේ භාර්යාවට අප්‍රියය, මාගේ මවුගේ කුසේ උපන් දරුවන්ට මම පිළිකුලක්ය. බාලයෝ පවා මා හෙළාදකිති; මා නැගිටින්ට හදන විට ඔව්හු මට විරුද්ධව කථාකෙරෙති. මාගේ සියලු හිත මිත්‍රයෝම මට පිළිකුල්කරති. මා විසින් ප්‍රේමකළ අය මට විරුද්ධවී සිටිති. මාගේ ඇට මාගේ හමටත් මාංසයටත් ඇලී තිබේ, මා ඉතිරිවී ඉන්නේ මාගේ දත්වල හම පමණක් ඇතුවය. අනේ මාගේ මිත්‍රයෙනි, මට අනුකම්පාකරන්න, අනුකම්පාකරන්න; මක්නිසාද දෙවියන්වහන්සේගේ හස්තය මට පහරදුන්නේය. නුඹලා දෙවියන්වහන්සේ මෙන් මා පස්සේ එළවාගෙන එන්නෙත් මාගේ මාංසය කෑමෙන් තෘප්තියට නොපැමිණ සිටින්නෙත් මක්නිසාද? අනේ මාගේ වචන දැන් ලියනු ලැබුවොත් කොපමණ හොඳද! ඒවා පොතක සටහන්කර තබන්ටත්, යකඩ පන්හිඳකින් හා ඊයම්වලින් සදාකාලේටම පර්වතයෙහි කොටා තබන්ටත් යෙදුණොත් කොපමණ හොඳද! එහෙත් මාගේ මිදුම්කාරයාණන් ජීවත්ව සිටින බවද අන්තිමේදී උන්වහන්සේ පොළොව පිට සිටින බවද දනිමි.