ශු. යොහන් 9:22-34
ශු. යොහන් 9:22-34 SROV
ඔහුගේ මවුපියන් මෙසේ කීවේ යුදෙව්වරුන්ට භයව සිටි නිසාය. මක්නිසාද යමෙක් උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඒත්තුගත්තොත් ඔහු සිනගෝගයෙන් අහක්කරනු ලබන්නේයයි යුදෙව්වරුන් නියමකරගෙන තිබුණේය. ඒ නිසා ඔහුගේ මවුපියෝ: ඔහුට වයස් ඇත්තේය, ඔහුගෙන් අසන්නැයි කීවෝය. එවිට ඔව්හු අන්ධව සිටි මනුෂ්‍යයා දෙවෙනි වර කැඳවා: දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. මේ මනුෂ්‍යයා පව්කාරයෙක් බව අපි දනිමුයයි ඔහුට කීවෝය. එබැවින් ඔහු උත්තරදෙමින්: උන්වහන්සේ පව්කාරයෙක්ද නැද්දැයි මම නොදනිමි. එකක් දනිමි–මම අන්ධව සිටියෙමි, දැන් මට පෙනීම ඇත්තේයයි කීවේය. එබැවින් ඔව්හු: ඔහු නුඹට කුමක් කෙළේද? නුඹේ ඇස් පෑදුවේ කොහොමදැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහු ඔවුන්ට උත්තරදෙමින්: මම මේ දැන් නුඹලාට කීමි, නුමුත් නුඹලා ඇසුවේ නැත. නුඹලා නැවත අසන්ට කැමති මක්නිසාද? නුඹලාත් උන්වහන්සේගේ ගෝලයන් වෙන්ට කැමතිදැයි කීවේය. ඔව්හු ඔහුට නින්දාකොට: නුඹ ඔහුගේ ගෝලයාය; අපි නම් මෝසෙස්ගේ ගෝලයෝය. දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකර තිබෙන බව අපි දනිමුව. නුමුත් මේ මනුෂ්‍යයා ගැන නම් ඔහු කොතැනින්දැයි අපි නොදනිමුයයි කීවෝය. ඒ මනුෂ්‍යයා ඔවුන්ට උත්තරදෙමින්: ඇයි, මේක පුදුමයක්ය, උන්වහන්සේ මාගේ ඇස් පාදා තිබියදීත් උන්වහන්සේ කොතැනින් ආසේක්ද කියා නුඹලා නොදන්නහුය. දෙවියන්වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත් යමෙක් දෙවියන්වහන්සේට නමස්කාරකරන්නෙක්ව උන්වහන්සේගේ කැමැත්ත කරන්නේ නම් ඒ අයගේ බස් අසන බවත් අපි දනිමුව. කිසිවෙක් අන්ධව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව ලෝකයේ පටන්ගැන්මේ සිට කවදාවත් නෑසූ දෙයක්ය. මුන්වහන්සේ දෙවියන්වහන්සේ කෙරෙන් නාසේක් නම් කිසිදෙයක් කරන්ට උන්වහන්සේට නුපුළුවනැයි කීවේය. ඔව්හු උත්තරදෙමින්: සියලු ආකාරයෙන් පාපවල උපන් නුඹ අපට උගන්වනවාදැයි කියා ඔහු අහක්කළෝය.

