ශු. යොහන් 9:1-27

ශු. යොහන් 9:1-27 SROV

උන්වහන්සේ යද්දී, උපන්දා පටන් අන්ධවූ මනුෂ්‍යයෙකු දුටුසේක. උන්වහන්සේගේ ගෝලයෝ: රබ්බි, මොහු අන්ධව ඉපදීමට පව්කළේ කවුද? මොහුද? මොහුගේ මවුපියෝදැයි ඇසුවෝය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ ක්‍රියා මොහු කෙරෙහි ප්‍රකාශවන පිණිස මිස මොහුවත් මොහුගේ මවුපියන්වත් පව්කළ නිසා නොවේ. දවහල්ව තිබියදී මා එවූ තැනන්වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්‍රිය පැමිණෙයි, එවිට කිසිවෙකුට වැඩකරන්ට නුපුළුවන. මා ලෝකයෙහි සිටින කල මම ලෝකයේ ආලෝකයව සිටිමියි කීසේක. උන්වහන්සේ මෙසේ කියා බිමට කෙළ ගසා, එයින් මඩ සාදා ඒවා ඔහුගේ ඇස්වල ගා: නුඹ ගොස් සිලෝවම් පොකුණෙන් සෝදාගන්නැයි ඔහුට කීසේක. (සිලෝවම් යන වචනයේ අර්ථය එවනලද්දේය යනුයි.) එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආවේය. එබැවින් අසල්වාසියෝද ඔහු සිඟන්නෙක්ව සිටි බව පෙර දුටු අයද කථාකොට: ඉඳගෙන සිඟමන් ඉල්ලූ තැනැත්තා මොහු නොවේදැයි කීවෝය. සමහරෙක්: මේ ඔහුයයි කීවෝය. තවත් අය: නැත, නුමුත් මොහු ඔහු වාගේයයි කීවෝය. ඒ මමයයි ඔහු කීවේය. එසේ නම් නුඹේ ඇස් පෑදුණේ කොහොමදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය. ඔහු උත්තරදෙමින්: යේසුස් නම් මනුෂ්‍යයා මඩ සාදා මාගේ ඇස්වල ගා–නුඹ සිලෝවම්ට ගොස් සෝදාගන්නැයි මට කීවේය. මම ගොස් සෝදාගෙන පෙනීම ලැබීමියි කීවේය. ඔහු කොතැන්හිදැයි ඔව්හු ඇසුවෝය. මම නොදනිමියි ඔහු කීවේය.‍ පළමු අන්ධව සිටි තැනැත්තා ඔව්හු ඵරිසිවරුන් ළඟට ගෙනගියෝය. යේසුස්වහන්සේ මඩ සාදා ඔහුගේ ඇස් පෑදූ දවස වනාහි සබත් දවසය. එබැවින් ඵරිසිවරු ඔහුට පෙනීම ලැබුණේ කොහොමදැයි ඔහුගෙන් නැවත ඇසුවෝය. ඔහුද: උන්වහන්සේ මාගේ ඇස්වල මඩ ගෑසේක, මම සෝදාගෙන පෙනීම ලැබ සිටිමියි ඔවුන්ට කීවේය. එබැවින් ඵරිසිවරුන්ගෙන් සමහරෙක්: ඒ මනුෂ්‍යයා සබත් දවස නොපවත්වන බැවින් ඔහු දෙවියන්වහන්සේ වෙතින් ආ කෙනෙක් නොවේයයි කීවෝය. නුමුත් අන් සමහරෙක්: පව්කාරවූ මනුෂ්‍යයෙකුට මෙබඳු හාස්කම් කරන්ට පුළුවන් කොහොමදැයි කීවෝය. මෙසේ ඔවුන් අතරේ භේදයක් විය. එබැවින් ඔව්හු නැවත අන්ධයාට කථාකොට: ඔහු නුඹේ ඇස් පෑදූ නිසා, ඔහු ගැන නුඹ කියන්නේ කුමක්දැයි ඇසුවෝය. උන්වහන්සේ අනාගතවක්තෘ කෙනෙකැයි ඔහු කීවේය. එබැවින් යුදෙව්වරු පෙනීම ලැබු ඒ අයගේ මවුපියන් කැඳවන තුරු ඔහු අන්ධව සිට පෙනීම ලැබූ බව විශ්වාස නොකොට: අන්ධව උපන්නේයයි නුඹලා කියන නුඹලාගේ පුත්‍රයා මොහුද? එසේවී නම් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදැයි ඔවුන්ගෙන් ඇසුවෝය. ඔහුගේ මවුපියෝ ඔවුන්ට උත්තරදෙමින්: මොහු අපගේ පුත්‍රයා බවද අන්ධව උපන් බවද අපි දනිමුව. නුමුත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදැයි නොදනිමුව; ඔහුගේ ඇස් පෑදුවේ කවුද කියාත් අපි නොදනිමුව. ඔහුගෙන් අසන්න; ඔහුට වයස් ඇත්තේය; ඔහුම තමා ගැන කියනවා ඇතැයි කීවෝය. ඔහුගේ මවුපියන් මෙසේ කීවේ යුදෙව්වරුන්ට භයව සිටි නිසාය. මක්නිසාද යමෙක් උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඒත්තුගත්තොත් ඔහු සිනගෝගයෙන් අහක්කරනු ලබන්නේයයි යුදෙව්වරුන් නියමකරගෙන තිබුණේය. ඒ නිසා ඔහුගේ මවුපියෝ: ඔහුට වයස් ඇත්තේය, ඔහුගෙන් අසන්නැයි කීවෝය. එවිට ඔව්හු අන්ධව සිටි මනුෂ්‍යයා දෙවෙනි වර කැඳවා: දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. මේ මනුෂ්‍යයා පව්කාරයෙක් බව අපි දනිමුයයි ඔහුට කීවෝය. එබැවින් ඔහු උත්තරදෙමින්: උන්වහන්සේ පව්කාරයෙක්ද නැද්දැයි මම නොදනිමි. එකක් දනිමි–මම අන්ධව සිටියෙමි, දැන් මට පෙනීම ඇත්තේයයි කීවේය. එබැවින් ඔව්හු: ඔහු නුඹට කුමක් කෙළේද? නුඹේ ඇස් පෑදුවේ කොහොමදැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහු ඔවුන්ට උත්තරදෙමින්: මම මේ දැන් නුඹලාට කීමි, නුමුත් නුඹලා ඇසුවේ නැත. නුඹලා නැවත අසන්ට කැමති මක්නිසාද? නුඹලාත් උන්වහන්සේගේ ගෝලයන් වෙන්ට කැමතිදැයි කීවේය.