ශු. යොහන් 5:16-23

ශු. යොහන් 5:16-23 SROV

යේසුස්වහන්සේ මේ දේ සබත් දවසේදී කළ නිසා යුදෙව්වරු උන්වහන්සේට පීඩාකළෝය. නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ පියාණන්වහන්සේ මේ දක්වාම ක්‍රියාකරනසේක, මමත් ක්‍රියාකරමියි කීසේක. එබැවින් උන්වහන්සේ සබත් කඩකළා පමණක් නොව, දෙවියන්වහන්සේ තමන්ගේම පියාණෝයයි කියමින්, තමන් දෙවියන්වහන්සේ හා සමාන කරගත් නිසා, යුදෙව්වරු උන්වහන්සේ මරන්ට වඩ වඩා සෙවුවෝය. එබැවින් යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි–පියාණන්වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරිය. මක්නිසාද උන්වහන්සේ යමක් කරනසේක්ද පුත්‍රයාත් ඒ දේ එසේම කරන්නේය. කුමක්හෙයින්ද පියාණන්වහන්සේ පුත්‍රයාට ප්‍රේමකරනසේක, තමන්වහන්සේ කරන්නාවූ සියල්ල ඔහුට පෙන්වනසේක. නුඹලා මවිතවන පිණිස මීට වඩා මහත් ක්‍රියාවලුත් ඔහුට පෙන්වනසේක. මක්නිසාද පියාණන්වහන්සේ මළවුන් නැගුටුවා ජීවත්කරන්නාක්මෙන් පුත්‍රයාත් තමන් කැමතිවූවන් ජීවත්කරන්නේය. තවද සියල්ලන් විසින් පියාණන්වහන්සේට ගෞරවකරන්නාක් මෙන්ම පුත්‍රයාටත් ගෞරවකරන පිණිස, පියාණන්වහන්සේ කවරෙකුවත් විනිශ්චය නොකොට සියලු විනිශ්චයම පුත්‍රයාටදී තිබේ. පුත්‍රයාට ගෞරව නොකරන්නා ඔහු එවූ පියාණන්වහන්සේටත් ගෞරව නොකරයි.