ශු. යොහන් 4:16-26

ශු. යොහන් 4:16-26 SROV

ගොස් නුඹේ පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නැයි යේසුස්වහන්සේ ඈට කීසේක. ස්ත්‍රීද උන්වහන්සේට උත්තරදෙමින්: මට පුරුෂයෙක් නැතැයි කීවාය යේසුස්වහන්සේ ඈට කියනසේක්: මට පුරුෂයෙක් නැතැයි නුඹ කීවා හරිය. මක්නිසාද නුඹට පුරුෂයන් පස්දෙනෙක් සිටියෝය; නුඹට දැන් සිටින තැනැත්තා නුඹේ පුරුෂයා නොවේ. එය නුඹ සැබෑලෙස කීවෙහියයි කීසේක. ස්ත්‍රී උන්වහන්සේට කියන්නී: ස්වාමිනි, ඔබ අනාගතවක්තෘ කෙනෙකු බව මට පෙනේ. අපගේ පියවරු මේ කන්දේදී නමස්කාරකළෝය; නුමුත් මනුෂ්‍යයන් විසින් නමස්කාරකරන්ට යුතු ස්ථානය යෙරුසලමේයයි නුඹවහන්සේලා කියන්නහුයයි කීවාය. යේසුස්වහන්සේ ඈට කියනසේක්: ස්ත්‍රිය, මා විශ්වාසකරන්න, මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නුඹලා පියාණන්වහන්සේට නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය. නුඹලා නමස්කාරකරන්නේ නොදන්නා දේටය. අපි දන්නා දේට නමස්කාරකරමුව. මක්නිසාද ගැළවීම යුදෙව්වරුන්ගෙන්ය. නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක. දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක. ස්ත්‍රී උන්වහන්සේට කථාකොට: (ක්‍රිස්තුස්යයි කියන) මෙසියස්වහන්සේ එන බව දනිමි. උන්වහන්සේ ආවාම සියල්ල අපට දන්වනසේකැයි කීවාය. නුඹ සමඟ කථාකරන්නාවූ මම උන්වහන්සේයයි යේසුස්වහන්සේ ඈට කීසේක.

ශු. යොහන් 4:16-26 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය