ශු. යොහන් 3:26-36

ශු. යොහන් 3:26-36 SROV

එවිට ඔව්හු යොහන් ළඟට ඇවිත්: රබ්බි, යොර්දානෙන් එගොඩ ඔබ සමඟ සිටියාවූද ඔබගෙන් සාක්ෂි ලැබුවාවූද තැනැත්තේම බව්තීස්මකරනසේක, සියල්ලෝද උන්වහන්සේ වෙතට පැමිණෙතියි ඔහුට කීවෝය. යොහන් උත්තර දෙමින් මෙසේ කීවේය: මනුෂ්‍යයෙකුට ස්වර්ගයෙන් දෙනලද දෙයක් මිස වෙන කිසිවක් ලබන්ට බැරිය. මම ක්‍රිස්තුස් නොවෙමි, නුමුත් උන්වහන්සේට පළමුවෙන් එවනලද්දෙමියි මා කී බවට නුඹලාම සාක්ෂිකාරයෝය. මනමාලී ඇත්තා මනමාලයාය. නුමුත් මනමාලයා ළඟ සිට ඔහුගේ වචන අසන ඔහුගේ මිත්‍රයා මනමාලයාගේ හඬට බොහෝසෙයින් ප්‍රීතිවෙයි. එබැවින් මාගේ මේ ප්‍රීතිය සම්පූර්ණවී තිබේ. උන්වහන්සේ වර්ධනවෙන්ටත් මා අඩුවෙන්ටත් ඕනෑය. ඉහළින් එන්නාවූ තැනන්වහන්සේ සියල්ලන්ට වඩා උතුම්ය. භූමියෙන් වූ තැනැත්තේ භූමිකව, භූමික දේ ගැන කථාකරන්නේය. ස්වර්ගයෙන් එන්නාවූ තැනන්වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය. උන්වහන්සේ දුටුවා වූ ඇසුවා වූ දේ ගැන සාක්ෂිදෙනසේක; එහෙත් කවරෙක්වත් උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නේ නැත. උන්වහන්සේගේ සාක්ෂිය පිළිගත් තැනැත්තේ දෙවියන්වහන්සේ සැබෑවන්ත බවට මුද්‍රාව තබා තිබේ. මක්නිසාද දෙවියන්වහන්සේ විසින් එවනලද තැනන්වහන්සේ දෙවියන්වහන්සේගේ වචන කථාකරනසේක. කුමක්හෙයින්ද දෙවියන්වහන්සේ මිම්මක් සහිතව ආත්මයාණන් නොදෙනසේක. පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේමකරනසේක, සියල්ල උන්වහන්සේ අතට භාරදී තිබේ.‍ පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත; නුමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය, දෙවියන්වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතියි.