ශු. යොහන් 3:10-21
ශු. යොහන් 3:10-21 SROV
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නුඹ ඉශ්‍රායෙල්හි ගුරුවරයාව සිටියදීත් මේ දේවල් දන්නේ නැද්ද? සැබවක් සැබවක් නුඹට කියමි–අපි දන්නා දේ කියමුව, දුටු දේට සාක්ෂිදෙමුව; නුමුත් නුඹලා අපේ සාක්ෂිය පිළිගන්නේ නැත. මා නුඹලාට පොළොවේ දේ කී කල්හි නුඹලා විශ්වාස නොකරනවා නම් ස්වර්ගීක දේ කීවොත් විශ්වාස කරන්නේ කෙසේද? ස්වර්ගයෙන් බැස්සාවූ, ස්වර්ගයෙහි සිටින්නාවූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය. මෝසෙස් කාන්තාරයේදී සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාද උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම, සදාකාල ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්ට ඕනෑයයි කීසේක. මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය. උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා විනිශ්චයකරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටියි. විනිශ්චය නම් මේය–ලෝකයට ආලෝකය පැමිණ තිබෙන නුමුත්, මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම්වූ බවය. නපුරුකම් කරන සෑමදෙනම ආලෝකයට වෛරවී, තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොඑති. නුමුත් සැබෑව කරන්නා තමාගේ ක්‍රියා දෙවියන්වහන්සේ තුළ කළ බව ප්‍රකාශවෙන පිණිස ආලෝකයට එන්නේයයි කීසේක.

