ශු. යොහන් 16:16-24
ශු. යොහන් 16:16-24 SROV
ස්වල්ප වේලාවකින් නුඹලා මා තවත් දකින්නේ නැත; නැවත ස්වල්ප වේලාවකින් නුඹලා මා දකිනවා ඇතැයි කීසේක. එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් සමහරෙක් ඔවුනොවුන් කථාකොට: ස්වල්ප වේලාවකින් නුඹලා මා දකින්නේ නැත කියාත්, තව ස්වල්ප වේලාවකින් නුඹලා මා දකිනවා ඇත කියාත්, මා පියාණන්වහන්සේ ළඟට යන නිසාය කියාත් මුන්වහන්සේ අපට කියන මේ දේ කිමෙක්දැයි කීවෝය. එබැවින් ඔව්හු කථාකොට: ස්වල්ප වේලාවකැයි උන්වහන්සේ කියන මේක මොකක්ද? උන්වහන්සේ කියන්නේ කුමක්ද කියා අපි නොදනිමුයයි කීවෝය. තමන්ගෙන් අසන්ට ඔවුන් කැමති බව යේසුස්වහන්සේ දැන, ඔවුන්ට කියනසේක්: ස්වල්ප වේලාවකින් නුඹලා මා නොදක්නහුය, නැවත ස්වල්ප වේලාවකින් නුඹලා මා දකින්නහුයයි මා කී කාරණය ගැන නුඹලා එකිනෙකා විචාරවුද? සැබැවක් සැබැවක් නුඹලාට කියමි–නුඹලා හඬා වැලපෙන්නහුය, නුමුත් ලෝකයා ප්‍රීතිවන්නෝය. නුඹලා ශෝකවන්නහුය, නුමුත් නුඹලාගේ ශෝකය ප්‍රීතියට හැරෙන්නේය. ස්ත්‍රියෙක් බිහිකරන වේදනාවෙන් සිටින කල, ඇගේ වේලාව පැමිණි නිසා ඈට ශෝකය තිබේ. නුමුත් ඈ දරුවා බිහිකළ පසු, ලෝකයට මනුෂ්‍යයෙක් උපන්නේය යන ප්‍රීතිය නිසා, වේදනාව තවත් සිහි නොකරන්නීය. එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත නුඹලා දකින්නෙමි, එවිට නුඹලාගේ සිත ප්‍රීතිවන්නේය, නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය. ඒ දවසේදී නුඹලා මාගෙන් කිසිවක් අසන්නේ නැත. සැබැවක් සැබැවක් නුඹලාට කියමි–පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලුවොත්, උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ නුඹලාට දෙනසේක. මේ දක්වා මාගේ නාමයෙන් නුඹලා කිසිවක් ඉල්ලුවේ නැත. නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිස ඉල්ලන්න, එවිට නුඹලාට ලැබෙන්නේය.

