ශු. යොහන් 14:8-27
ශු. යොහන් 14:8-27 SROV
පිලිප්ද, ස්වාමිනි, පියාණන්වහන්සේ අපට පෙන්නුව මැනව, ඒ අපට ඇතැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: පිලිප්, මා මෙපමණ කල් නුඹලා සමඟ සිටලාත් මා අඳුනන්නේ නැද්ද? මා දුටු තැනැත්තේ පියාණන්වහන්සේ දුටුවේය; එසේවී නම්–පියාණන්වහන්සේ අපට පෙන්නුව මැනවයි නුඹ කියන්නේ කෙසේද? මා පියාණන්වහන්සේ තුළෙහිත් පියාණන්වහන්සේ මා තුළෙහිත් සිටින බව විශ්වාසකරන්නේ නැද්ද? මා නුඹලාට කියන වචන මමම උපදවා කථා නොකරමි; නුමුත් පියාණන්වහන්සේ මා තුළෙහි වසමින් ස්වකීය ක්‍රියා කරනසේක. මම පියාණන්වහන්සේ තුළෙහිත් පියාණන්වහන්සේ මා තුළෙහිත් සිටිනසේක යන මාගේ කීම විශ්වාසකරන්න. එසේ නැත්නම් මාගේ ක්‍රියා නිසාම විශ්වාසකරන්න. සැබැවක් සැබැවක් නුඹලාට කියමි–මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය; මා පියාණන්වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය. නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වුවත්, පුත්‍රයා තුළ පියාණන්වහන්සේ මහිමය ලබන පිණිස මම ඒක ඉෂ්ටකරන්නෙමි. නුඹලා විසින් මාගේ නාමයෙන් කොයි දෙයක් ඉල්ලුවත්, මම ඒක ඉෂ්ටකරන්නෙමි. නුඹලා මට ප්‍රේමකරනවා නම් මාගේ ආඥා රක්ෂාකරන්නහුය. මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ නුඹලා සමඟ නැවතී සිටිනසේක, නුඹලා තුළෙහි සිටිනසේක. නුඹලා අනාථව නාරින්නෙමි. නුඹලා වෙතට එමි. තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති; නුමුත් නුඹලා මා දකින්නහුය. මා ජීවත්වන බැවින් නුඹලාත් ජීවත්වන්නහුය. ඒ දවසේදී මා පියාණන්වහන්සේ තුළෙහිද නුඹලා මා තුළෙහිද මා නුඹලා තුළෙහිද සිටින බව නුඹලා දැනගන්නහුය. යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක. ඉස්කාරියොත් නොවන යූදස් උන්වහන්සේට කථාකොට: ස්වාමිනි, ඔබ ලෝකයාට ප්‍රකාශ නොවී අපට ප්‍රකාශවන්නේ කුමක් නිසාදැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: යමෙක් මට ප්‍රේමකරන්නේ නම්, ඔහු මාගේ වචනය රක්ෂාකරන්නේය. මාගේ පියාණන්වහන්සේද ඔහුට ප්‍රේමකරනසේක, අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරමුව. මට ප්‍රේම නොකරන්නා මාගේ වචන රක්ෂා නොකරයි. නුඹලා අසන වචනය මාගේ නොව මා එවූ පියාණන්වහන්සේගේය. මම නුඹලා සමඟ සිටියදීම මේ දේවල් නුඹලාට කීවෙමි. නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක. නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.


