ශු. යොහන් 14:16-24

ශු. යොහන් 14:16-24 SROV

මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ නුඹලා සමඟ නැවතී සිටිනසේක, නුඹලා තුළෙහි සිටිනසේක. නුඹලා අනාථව නාරින්නෙමි. නුඹලා වෙතට එමි. තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති; නුමුත් නුඹලා මා දකින්නහුය. මා ජීවත්වන බැවින් නුඹලාත් ජීවත්වන්නහුය. ඒ දවසේදී මා පියාණන්වහන්සේ තුළෙහිද නුඹලා මා තුළෙහිද මා නුඹලා තුළෙහිද සිටින බව නුඹලා දැනගන්නහුය. යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක. ඉස්කාරියොත් නොවන යූදස් උන්වහන්සේට කථාකොට: ස්වාමිනි, ඔබ ලෝකයාට ප්‍රකාශ නොවී අපට ප්‍රකාශවන්නේ කුමක් නිසාදැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: යමෙක් මට ප්‍රේමකරන්නේ නම්, ඔහු මාගේ වචනය රක්ෂාකරන්නේය. මාගේ පියාණන්වහන්සේද ඔහුට ප්‍රේමකරනසේක, අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරමුව. මට ප්‍රේම නොකරන්නා මාගේ වචන රක්ෂා නොකරයි. නුඹලා අසන වචනය මාගේ නොව මා එවූ පියාණන්වහන්සේගේය.