ශු. යොහන් 10:1-11

ශු. යොහන් 10:1-11 SROV

සැබවක් සැබවක් නුඹලාට කියමි–දොරකඩින් බැටළුගාලට ඇතුල් නොවී වෙන මගකින් නැගී එන්නා සොරෙක්ද කොල්ලකන්නෙක්ද වේ. නුමුත් දොරකඩින් ඇතුල්වෙන්නා බැටළුවන්ගේ එඬේරාය. ඔහුට දොරටු පාලයා දොර හරියි; බැටළුවෝ ඔහුගේ හඬ අසති. ඔහු තමාගේම බැටළුවන්ගේ නම් කියා අඬගසා උන් පිටතට ගෙනයයි. ඔහු තමාගේම සියලු බැටළුවන් පිටතට හැරියාම ඔහු උන්ට පෙරටුව යයි, බැටළුවෝද ඔහුගේ හඬ අඳුනන බැවින් ඔහු පස්සේ යති. උන් අන්‍යයන්ගේ හඬ නාඳුනන බැවින් අන්‍යයෙකු පස්සේ නොගොස් ඔහු වෙතින් පලායන්නේයයි කීසේක. යේසුස්වහන්සේ මේ උපහැරණය ඔවුන්ට කී නුමුත් උන්වහන්සේ විසින් කියනලද කාරණා කිමෙක්දැයි ඔවුන් තේරුම් ගත්තේ නැත. ඒ නිසා යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි–බැටළුවන්ගේ දොරකඩ මමය. මට පළමු ආ සියල්ලෝම සොරු සහ කොල්ලකන්නො‍ත්ය. නුමුත් බැටළුවෝ ඔවුන්ට ඇහුම්කන් නුදුන්නෝය. දොරකඩ නම් මමය. යමෙක් මා කරණකොටගෙන ඇතුල්වේද, ඔහු ආරක්ෂාකරනු ලැබ ඇතුළට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නේය. සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය. මම යහපත් බැටළු එඬේරාය. යහපත් බැටළු එඬේරා තමාගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙන්නේය.

ශු. යොහන් 10:1-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය