ජෙරෙමියා 18
18
කුම්භකාරයා සහ මැටි
1 ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනය මේය: 2නුඹ නැගිට කුම්භකාරයාගේ ගෙට යන්න, එහිදී මාගේ වචනය නුඹට ප්‍රකාශකරන්නෙමියි කීය. 3එකල මම කුම්භකාරයාගේ ගෙට ගියෙමි, බලව, ඔහු සකපෝරුවෙන් වැඩකරමින් සිටියේය. 4ඔහු සෑදූ මැටිභාජනය කුම්භකාරයාගේ අතේ නරක්වූ කල, නැවත ඒක සාදන්ට කුම්භකාරයාට හොඳව පෙනුණු ලෙස, ඔහු එයින් වෙන භාජනයක් සෑදුවේය. 5එකල ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ මෙසේ වදාළේය: 6එම්බා ඉශ්‍රායෙල් වංශය, මේ කුම්භකාරයා කරන ලෙස නුඹලාට කරන්ට මට බැරිදැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එම්බා ඉශ්‍රායෙල් වංශය, කුම්භකාරයාගේ අතෙහි තිබෙන මැටි මෙන් නුඹලා මාගේ අතෙහි සිටින්නහුය. 7උදුරා කඩාදමා නැතිකරන්නෙමියි මම කිසියම් ජාතියක් හෝ රාජ්‍යයක් ගැන කී කල, 8මා විසින් එසේ කථාකළ ඒ ජාතිය තමුන්ගේ නපුරුකමෙන් අහක් වුණොත්, මම ඔවුන්ට පමුණුවන්ට සිතූ විපත්තිය ගැන පසුතැවිලිවන්නෙමි. 9ගොඩනගා හිටවන්නෙමියි මා විසින් යම් ජාතියක් ගැනවත් රාජ්‍යයක් ගැනවත් කී කල්හි; 10ඔවුන් මාගේ හඬට කීකරු නොවී, මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කළොත්, ඔවුන්ට කරන්නෙමියි මා කී යහපත ගැන පසුතැවිලිවන්නෙමි. 11එබැවින් නුඹ යූදා මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කථාකොට: මම නුඹලාට විරුද්ධව විපත්තියක් යොදමින්ද නුඹලාට විරුද්ධව යෝජනාවක් යෝජනාකරමින්ද සිටිමි. ඉතින් නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, නුඹලාගේ මාර්ගවල්ද ක්‍රියාවල්ද හරිගස්සගන්නය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න. 12නුමුත් ඔව්හු: ඒක නිෂ්ඵලය. මක්නිසාද අපේම අභිප්‍රායයන් ලෙස හැසිරෙන්නෙමුව, අපි එකිනෙකා අපේ නපුරු සිත්වල මුරණ්ඩුකම ලෙස කරන්නෙමුයයි කියති.
13එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙයාකාර දේ ඇසුවේ කවුද කියා ජාතීන් අතරෙහි විභාගකරන්න; ඉශ්‍රායෙල් කන්‍යාව ඉතා භයංකර දෙයක් කළාය. 14ලෙබනොන්හි හිම වනයේ පර්වතයෙන් නැතිව යන්නේද? නොහොත් දුරු තැනකින් ගලා එන්නාවූ ශීතල ජලය සිදීයන්නේද? 15එහෙත් මාගේ සෙනඟ මා මතකනැතිකළෝය, ඔව්හු දේව රූපවලට සුගන්ධ ද්‍රව්‍ය දැවුවෝය; ඒවා වනාහි හරි නොගැස්සූ මාර්ගයකද අතුරු පාරවලද යන ලෙස පුරාණ මාවත් වන ඔවුන්ගේ මාර්ගවල ඔවුන් පැකිලවති. 16මෙසේ ඔවුන්ගේ දේශය විස්මයක්ද නිරන්තර කවටකමක්ද කරති; ඒ ළඟින් යන සියල්ලෝ විස්මපත්ව තමුන්ගේ හිස් වනන්නෝය. 17පෙරදිග හුළඟකින් මෙන් සතුරා ඉදිරියෙන් ඔවුන් විසුරුවන්නෙමි; ඔවුන්ගේ විපත්ති දවසේදී ඔවුන්ට මුහුණ නොව පිටුපාන්නෙමියි කියන්න.
18එකල ඔව්හු කථාකොට: එන්න, අපි යෙරෙමියාට විරුද්ධව උපා යොදමු; මක්නිසාද පූජකයාගෙන් ව්‍යවස්ථාවවත් ප්‍රඥාවන්තයාගෙන් මන්ත්‍රණයවත් අනාගතවක්තෘගෙන් වචනයක්වත් නැතිව නොයන්නේය. එන්න, අපි ඔහුට දිවෙන් පහරදී, ඔහුගේ කිසිම වචනයකට ඇහුම්කන් නොදී සිටිමුයයි කීවෝය.
19 ස්වාමීන්වහන්ස, ඔබ මා සලකා, මා සමඟ විවාදකරන්නන්ගේ ශබ්දය ඇසුව මැනව. 20යහපතට නපුර කිරීම යුතුද? මක්නිසාද ඔව්හු මාගේ ප්‍රාණයට වළක් හෑරුවෝය. ඔවුන් කෙරෙන් ඔබගේ කෝපය පහකරන පිණිස ඔවුන් වෙනුවට යහපත කථාකරන්ට මා ඔබ ඉදිරියෙහි සිටිය බව සිහිකළ මැනව. 21එබැවින් ඔවුන්ගේ දරුවන් සාගතයට භාරදී, ඔවුන් කඩුවේ බලයට අත්හැරිය මැනව; ඔවුන්ගේ භාර්යාවෝ දරුවන් නැත්තියෝද වැන්දඹුවෝද වෙත්වා; ඔවුන්ගේ පුරුෂයෝ වසංගතයෙන් මැරෙත්වා, ඔවුන්ගේ යෞවනයෝද යුද්ධයේදී කඩුවෙන් මැරුම්කත්වා. 22ඔබ හදිසියෙන් සේනාවක් ඔවුන්ට විරුද්ධව පමුණුවන කල ඔවුන්ගේ ගෙවලින් කෑගැසීමක් ඇසේවා. මක්නිසාද ඔවුන් මා අසුකරන්ට වළක් හාරා, මාගේ පාදවලට මලපත් සඟවා තැබුවෝය. 23නුමුත්, ස්වාමීන්වහන්ස, මා මරන්ට මට විරුද්ධව ඔවුන් යොදන සියලු කුමන්ත්‍රණ ඔබම දන්නාසේක; ඔවුන්ගේ අයුතුකම කමා නොකළ මැනව, ඔවුන්ගේ පාපයද ඔබගේ ඇස් හමුයෙන් නොමැකුව මැනව. ඔබ ඉදිරියෙහි ඔව්හු පැකිල වැටෙත්වා; ඔබගේ උදහස් කාලයේදී ඔවුන්ට ප්‍රතිඵල දුන මැනව.
දැනට තෝරාගෙන ඇත:
ජෙරෙමියා 18: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society