ජෙරෙමියා 1:1-9

ජෙරෙමියා 1:1-9 SROV

බෙන්යමින් රටේ අනාතෝත්හි විසූ පූජකයන්ගෙන් එක්කෙනෙක්වූ හිල්කියාගේ පුත්‍රවූ යෙරෙමියාගේ වචනයි. ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දවස්වල, ඔහුගේ රජකමේ දහතුන්වෙනි අවුරුද්දේදී, ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණියේය. යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ දවස්වලදීද යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ ශෙදෙකියාගේ එකොළොස්වෙනි අවුරුද්දේ කෙළවර දක්වා, එනම් පස්වෙනි මාසයේ යෙරුසලමේ වැසියන් දාස කොට අල්ලා ගෙනයාම දක්වාද, ඒ පණිවුඩය පැමිණියේය. ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: මම නුඹ ගර්භයෙහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි, නුඹ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම නුඹ කැපකොට, ජාතීන්ට අනාගතවක්තෘ කෙනෙකු කොට නුඹ නියමකෙළෙමියි කීය. එවිට මම: අනේ, ස්වාමිවූ දෙවියන්වහන්ස, මම කථාකරන්ට නොදනිමි, මක්නිසාද මම බාලයෙක්මියි කීමි. නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම බාලයෙක්මියි නොකියා, මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට ගොස්, මා නුඹට අණකරන සියල්ල කියන්න. ඔවුන්ට භය නොවන්න; මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක. එවිට ස්වාමීන්වහන්සේ ස්වකීය අත දිගුකොට මාගේ මුඛය ස්පර්ශකළසේක. තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෙන්න, මාගේ වචන නුඹේ මුඛයෙහි තැබීමි.

මෙයට අදාළ වීඩියෝ

ජෙරෙමියා 1:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය