විනිශ්චයකාරයන්ගේ පොත 4:1-16

විනිශ්චයකාරයන්ගේ පොත 4:1-16 SROV

ඒහුද් මැරුණායින් පසු ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවත ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ස්වාමීන්වහන්සේ ද හාශොර්හි රජකම්කළ කානාන්හි රජවූ යාබින් අතට ඔවුන් පාවාදුන්සේක; ඔහුගේ සේනාවේ අධිපතියා ජාතීන්ට අයත් හරොෂෙත්හි විසූ සිසෙරාය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය. මක්නිසාද ඔහුට යකඩ රථ නවසියයක් තිබුණේය; ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විසි අවුරුද්දක් බලවත් ලෙස පීඩා කෙළේය. ඒ කාලයෙහි ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකෙළේ ලප්පිදොත්ගේ භාර්යාව වූ අනාගතවක්ත්‍රියක්වූ දෙබොරා තොමෝය. ඈ එප්‍රායිම් කඳු රටේ රාමාටත් බෙතෙල්ටත් අතරේ තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට වාසයකළාය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ විනිශ්චය පිණිස ඈ ළඟට ආවෝය. ඈ කෙදෙශ්නප්තලීයෙන් අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් අඬගස්වාගන ඔහුට කථාකොට: නුඹ ගොස් නප්තලී පුත්‍රයන්ගෙනුත් සාබුලොන් පුත්‍රයන්ගෙනුත් මනුෂ්‍යයන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න කියාත්, මම යාබින්ගේ සේනාවේ අධිපතියාවූ සිසෙරාද ඔහුගේ රථද සමුදාවද කීෂොන් ඔය ළඟ නුඹ වෙතට රැස්කර ඔහු නුඹ අතට පාවා දෙන්නෙමියි කියාත් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අණකළා නොවේදැයි කීවාය. එවිට බාරාක් ඈට කථාකොට: නුඹ මා සමඟ යනවා නම් මම යන්නෙමි. නුඹ මා සමඟ නොයනවා නම් මමත් නොයන්නෙමියි කීය. ඈද: සැබවින් මම නුඹ සමඟ යන්නෙමි. එසේවී නුමුත් නුඹ යන ගමන නුඹේ ගෞරවය පිණිස නොවන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්ත්‍රියක් අතට සිසෙරා පාවාදෙනවා ඇතැයි කීවාය. දෙබොරා තොමෝ පිටත්වී බාරාක් සමඟ කෙදෙෂ්ට ගියාය. බාරාක් සාබුලොන්වරුන්ද නප්තලීවරුන්ද කෙදෙෂ්ට අඬගස්වාගත්තේය; මනුෂ්‍යයන් දසදහසක් ඔහු කැටුව ගියෝය. දෙබොරාත් ඔහු සමඟ ගියාය. එකල කේනීයවූ හෙබෙර් මෝසෙස්ගේ මාමා වන හොබාබ්ගේ පුත්‍රයන්වූ කේනිවරුන්ගෙන් වෙන්වී, කෙදෙෂ් ළඟ තිබෙන ශයනන්නීම්හි අලෝන වෘක්ෂය ළඟ තමාගේ කූඩාරම පිහිටුවාගන සිටියේය. එවිට අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් තාබෝර් කන්දට ගිය බව සිසෙරාට දන්වනලද්දේය. සිසෙරා තමාගේ සියලු රථ එනම් යකඩ රථ නවසියයක්ද තමා සමඟ සිටි මුළු සෙනඟද ජාතීන්ට අයත් හරොෂෙත්හි සිට කීෂොන් ඔය ළඟට අඬගස්වාගත්තේය. එවිට දෙබොරා බාරාක්ට කථාකොට: නැගිටින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ සිසෙරා නුඹ අතට පාවාදෙන දවස මේය. ස්වාමීන්වහන්සේ නුඹට පෙරටුව යනවා නොවේදැයි කීවාය. එහෙයින් බාරාක්ද ඔහු පස්සේ මනුෂ්‍යයන් දසදහසක්ද තාබෝර් කන්දෙන් බැස ගියෝය. එවිට ස්වාමීන්වහන්සේ සිසෙරා හා ඔහුගේ සියලු රථද ඔහුගේ මුළු සේනාවද බාරාක් ඉදිරියෙහි කඩුමුවහතින් කලඹා විසුරුවා දැමූසේක; සිසෙරා තමාගේ රථයෙන් බැස පයින් පලා ගියේය. නුමුත් බාරාක් රථ හා සේනාව පස්සේ ජාතීන්ට අයත් හරොෂෙත් දක්වා එළවාගන ගියේය. සිසෙරාගේ මුළු සේනාව කඩුමුවහතින් වැටුණාය; එක්කෙනෙක්වත් ඉතුරුවුණේ නැත.