විනිශ්චයකාරයන්ගේ පොත 3:15-30

විනිශ්චයකාරයන්ගේ පොත 3:15-30 SROV

එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූ කල ස්වාමීන්වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට නැගුටුවාදුන්සේක. ඔහු වනාහි බෙන්යමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත්‍රවූ වමත හුරු මනුෂ්‍යයෙක්වූ ඒහුද්ය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජවූ එග්ලොන්ට ඔහු අත තෑග්ගක් යැවුවෝය. ඒහුද් තෙමේ රියනක් දිග ඇති දෙමුවහත් කඩුවක් සාදාගෙන එය තමාගේ දකුණු කළවේ තමාගේ ඇඳුම් යට බැඳගන ගොස්, මෝවබ්හි රජවූ එග්ලොන්ට ඒ තෑග්ග ඔප්පුකෙළේය. එග්ලොන් වනාහි ඉතා තර මනුෂ්‍යයෙකි. ඒහුද් තෑග්ග ඔප්පුකර නිමවූ විට තෑග්ග ගෙන ගිය මිනිසුන් පිටත්කර හැරියේය. නුමුත් ඔහු ගිල්ගාල් ළඟ තිබෙන ගල් කපන තැන සිට හැරීගොස්: රජ්ජුරුවෙනි, ඔබට කියන්ට රහස්වූ පණිවිඩයක් මට තිබේයයි කීවේය. රජතෙමේ: නිශ්ශබ්ද වෙයව්යයි කීය. එවිට ඔහු වෙත සිටි සියල්ලෝ ඔහු කෙරෙන් පිටතට ගියෝය. ඒහුද් ඔහු ළඟට පැමිණියේය; ඔහු තමාගේ සිසිල් උඩුමහල්තලයෙහි තනියම ඉඳගන උන්නේය. ඒහුද් තෙමේ: ඔබට දෙවියන්වහන්සේගේ පණිවිඩයක් දන්වන්ට මට ඇතැයි කීය. ඔහු හුනස්නෙන් නැගිට්ටේය. ඒහුද් තමාගේ වමත දිගුකොට දකුණු කළවයෙන් කඩුව හැරගෙන ඔහුගේ බඩට ඇන්නේය. තලය සමඟ මිටත් ඇතුළට ගියේය. ඔහුගේ බඩෙන් ඔහු කඩුව ඇද නොගත් බැවින් තලය මාංසයෙන් වැසී ගොස් පිටිපස්සෙන් එළියට ආයේය. ඒහුද් පිටත ශාලාවට ගොස් උඩුමහල් දොරවල් වසා තබා අගුල් දමාගියේය. ඔහු පිටත්ව ගිය කල රජුගේ මෙහෙකරුවෝ ඇවිත් බැලූහ; තවද ඔව්හු උඩුමහලේ දොරවල් අගුල්දමා තිබෙනවා දැක: සැබවින් රජු සිසිල් උඩුමහල්තලයෙහි තමාගේ පාද වසාගන ඉන්නවා වෙන්ට ඕනෑයයි කීවෝය. ඔව්හු තුෂ්ණිම්භූතව බලා සිටියෝය. ඔහු උඩුමහලෙහි දොරවල් නොඇරිය බැවින් ඔව්හු යතුර ගෙන ඒවා ඇරියකල ඔවුන්ගේ ස්වාමියා බිම වැටී මැරී ඉන්නවා දුටුවෝය. ඔවුන් ප්‍රමාදවෙද්දී ඒහුද් ගැළවී ගල් කපන තැන පසුකර සෙයිරාට ගැළවී ගියේය. ඔහු ඇවිත් එප්‍රායිම් කඳු රටේදී හොරණෑවක් පිම්බේය, එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔහු සමඟ කඳුරටෙන් බැස ගියෝය. ඔහු ඔවුන්ට පෙරටුවෙන් ගොස්, ඔවුන්ට කථාකොට: මා පස්සේ එන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලාගේ සතුරන් වන මෝවබ්වරුන් නුඹලා අතට පාවා දී තිබේයයි කීවේය. ඔව්හු ඔහු පස්සේ ගොස් මෝවබ් ළඟ තිබෙන යොර්දාන්හි තොටුපළවල් අල්ලාගෙන, කිසිවෙකුට එයින් එගොඩවෙන්ට ඉඩ නුදුන්නෝය. ඔව්හු ඒ ප්‍රස්තාවේදී මෝවබ්වරුන් දසදහසක් පමණ මැරුවෝය. ඔවුන් සියල්ලෝම ශක්තිමත්ව සියල්ලෝම බලවන්තයෝව සිටියෝය; එක්කෙනෙක්වත් ගැළවුණේ නැත. ඒ දවසේදී මෝවබ්වරු ඉශ්‍රායෙල්වරුන්ට යටත්කරනු ලැබුවෝය. ඉක්බිති අසූ අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය.

විනිශ්චයකාරයන්ගේ පොත 3:15-30 සඳහා වීඩියෝව