යාකොබ් 3:7-17

යාකොබ් 3:7-17 SROV

එසේය, සියලු ආකාර වන මෘගයෝද පක්ෂීහුද බඩගායන ජාතීන් හා මුහුදේ සත්වයෝද මනුෂ්‍යයන් විසින් දමනයකරනු ලබති, දමනයකරනු ලැබුවෝය. නුමුත් දිව දමනයකරන්ට කිසි මනුෂ්‍යයෙකුට නුපුළුවන. ඒක කැරළිකාරවූ, මරණීය විෂයෙන් පූර්ණවූ, නපුරු දෙයක්ය. එයින් ස්වාමිවූ පියාණන්වහන්සේට අපි ප්‍රශංසාකරමුව; එයින්ම දෙවියන්වහන්සේගේ සමානත්වය ලෙස මවනලද මනුෂ්‍යයන්ට අපි ශාපකරමුව. ප්‍රශංසාවත් ශාපයත් එක මුඛයෙන් නික්මෙන්නේය. මාගේ සහෝදරයෙනි, මේ කාරණා මෙසේ වීම යුතු නැත. උල්පත එක සිදුරෙන් මිහිරි දියත් තික්ත දියත් නිකුත්කරයිද? මාගේ සහෝදරයෙනි, අත්තික්කා ගහේ ඔලීව ඵලවත් මුද්‍රික වැලේ අත්තික්කා ඵලවත් හටගන්ට පුළුවන්ද? කරදියෙන් මිරිදිය නික්මෙන්ට නුපුළුවන. නුඹලා අතරෙහි ප්‍රඥාවත්වූ තේරුම්ඇත්තාවූ තැනැත්තා කවුද? ඔහු යහපත් හැසිරීමෙන් තමාගේ ක්‍රියා ප්‍රඥාවේ මෘදුකම ඇතුව පෙන්වාවා. නුමුත් නුඹලාගේ සිත්වල තික්ත ඊර්ෂ්‍යාවද පක්ෂවාදිකමද තිබේ නම්, පාරට්ටුකරමින් සත්‍යයට විරුද්ධව බොරු නොකියන්න. ඒ ප්‍රඥාව ඉහළින් පැමිණෙන එකක් නොව භූමිකව මාංසිකව යක්ෂාකාරව තිබේ. මක්නිසාද ඊර්ෂ්‍යාවත් පක්ෂවාදිකමත් ඇති තැන, අවුල්කමත් සියලු නපුරු ක්‍රියාවලුත් ඇත්තේය. නුමුත් ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදිව, අවංකව තිබේ.