යාකොබ් 2:1-6

යාකොබ් 2:1-6 SROV

මාගේ සහෝදරයෙනි, අපගේ තේජවන්ත ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ල මනුෂ්‍යයන්ගේ තරාතිරම් සැලකීම ඇතුව නොදරන්න. රන් මුද්දක්ද අලංකාර වස්ත්‍රද පැළඳගන ඉන්න මනුෂ්‍යයෙකුත් කිලුටු ඇඳුම් ඇඳගන ඉන්න දිළින්දෙකුත් නුඹලාගේ සිනගෝගයට ආවොත්, නුඹලා අලංකාර වස්ත්‍ර පැළඳගන ඉන්න අය සලකා: මෙහි හොඳ තැනක හිඳගන්ටය කියාද, දිළින්දාට: නුඹ ඔහේ සිටින්න, නොහොත් මාගේ පාපුටුව ළඟ ඉඳගන්නැයි කියාද, කියනවා නම්, නුඹලා භේදවූ අදහස් ඇත්තෝව, නපුරු සිතිවිලිවලින් යුක්ත විනිශ්චයකාරයෝ නොවන්නෝද? මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, අසන්න; ඇදහිල්ලෙහි ධනවත්වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේමකරන්නවුන්ට පොරොන්දුවූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, දෙවියන්වහන්සේ ලෝකයේ දිළින්දන් තෝරා නොගත්සේක්ද? නුමුත් නුඹලා දිළින්දාට අගෞරවකළහුය. ධනවතුන් නුඹලාට පීඩාකරනවා නොවේද? නඩුශාලාවලට නුඹලා ඇදගන යනවා නොවේද?