යෙසායා 26:1-7
යෙසායා 26:1-7 SROV
ඒ දවසෙහි මේ ගීතිකාව යූදා දේශයෙහි ගීතිකාකරනු ලබන්නේය: අපට බලවත් නුවරක් ඇත; තාප්ප හා පවුරු පිණිස උන්වහන්සේ ගැළවීම නියමකරනසේක. විශ්වාසකම පවත්වන ධර්මිෂ්ඨ ජාතිය ඇතුල්වෙන පිණිස දොරවල් අරින්න. ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක. ස්වාමීන්වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාසකරන්න. මක්නිසාද යෙහොවඃ නම්වූ ස්වාමීන්වහන්සේ සදාකාල පර්වතයක්ය. මක්නිසාද උන්වහන්සේ උසස්ථානය වන උස්වූ නගරයේ වැසියන් හෙළාදැමූසේක. උන්වහන්සේ එය පහත්කරනසේක, බිමටම ඒක පහත්කර ධූලියටම පමුණුවනසේක. පාදය ඒක පාගන්නේය; දිළිඳුන්ගේ පාදත් දුර්වලයන්ගේ අඩිත් ඒක පාගනවා ඇත. ධර්මිෂ්ඨයාගේ මාර්ගය ඇදනැති මාර්ගයක්ය. සෘජුගුණාන්විතවූ තැනන්වහන්ස, ඔබවහන්සේ ධර්මිෂ්ඨයාගේ මාවත හසුරුවනසේක.

