හෙබ්‍රෙව් 7:1-10

හෙබ්‍රෙව් 7:1-10 SROV

එසේය, සාලමේ රජවූ, මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයෙක්වූ, මේ මෙල්කිසදෙක් ආබ්‍රහම් රජුන් මැරීමෙන් හැරී එද්දී සම්මුඛව ඔහුට ආශීර්වාදකෙළේය. ආබ්‍රහම් සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය. පළමුකොට ඔහුගේ නාමය, අර්ථයේ හැටියට, ධර්මිෂ්ඨකමේ රජය, දෙවනුව සමාදානයේ රජයයි අර්ථ ඇති සාලමේ රජ්ජුරුවෝය. තවද පියෙක්වත් මවෙක්වත් පෙළපතක්වත් දවස්වල පටන්ගැන්මක්වත් ජීවිතයේ කෙළවරක්වත් නැත්තාවූ මේ තෙමේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාට සමානකරනු ලැබ නිතරම පූජකයෙක්ව පවතින්නේය. ඉතින් මොහු කොපමණ උතුම් කෙනෙක්ව සිටියේදැයි කල්පනාකරන්න. පියවූ ආබ්‍රහම් පවා කොල්ලගත් දේවලින් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය. ලෙවීගේ පුත්‍රයන් අතරෙන් පූජක තනතුර ලබන්නෝ ව්‍යවස්ථාව ලෙස සෙනඟගෙන්–එනම්, ආබ්‍රහම්ගෙන් පැවත ආවාවූ තමුන්ගේ සහෝදරයන්ගෙන් පවා–දසයෙන් කොටසක් ගන්ට ආඥාවක් ලැබ සිටිති. නුමුත් ඔවුන්ගේ පෙළපතට ඇතුළත් නැත්තාවූ තැනැත්තා දසයෙන් කොටසක් ආබ්‍රහම්ගෙන් ලබාගෙන, පොරොන්දු ඇත්තාවූ ඔහුට ආශීර්වාදකෙළේය. ආශීර්වාදකරන්නේ උතුම් අය විසින් කුඩා අයට බව වාද රහිතය. නුමුත් මෙහිදී දසයෙන් කොටස ලබන්නෝ නසින්නාවූ මනුෂ්‍යයෝය; නුමුත් එහිදී ලබන්නේ ජීවත්වන බවට සාක්ෂි ලබන කෙනෙක්ය. ඇරත් දසයෙන් කොටස ලබන්නාවූ ලෙවී පවා ආබ්‍රහම් කරණකොටගෙන දසයෙන් කොටස ගෙවුවේයයි කිය හැකිය. මක්නිසාද මෙල්කිසදෙක් ආබ්‍රහම්ට සම්මුඛවූ විට, ලෙවී තමාගේ පියාගේ කටියේ සිටියේය.

හෙබ්‍රෙව් 7:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය