හබක්කුක් 3:13-19
හබක්කුක් 3:13-19 SROV
ඔබගේ සෙනඟගේ ගැළවීම පිණිසත් ඔබගේ අභිෂේකලත් තැනැත්තා ගැළවීමටත් ඔබ පිටත්ව ගොස්, දුෂ්ටයාගේ වංශයේ ප්‍රධානියා පොඩිකර, බෙල්ල දක්වාම අත්තිවාරම ඇරියසේක. ඔබ ඔහුගේ අධිපතීන්ගේ ප්‍රධානියාට ඔහුගේම හෙල්ලවලින් ඇන්නසේක. ඔව්හු මා විසුරුවාදමන්ට සුළි හුළඟක් මෙන් ආවෝය. ඔවුන්ගේ ප්‍රීතිමත්කම අසරණයන් රහසින් නාස්තිකිරීමටය. මුහුද එනම් මහත් ජලස්කන්ධ පිට ඔබගේ අසුන් ඇතුව ඔබ පාගාගියසේක. මා ඇසූ විට මාගේ බඩ කැලඹුණේය, ඒ හඬට මාගේ තොල් වෙවුලුවේය; මාගේ ඇටවලට දිරීම පැමිණ, මාගේ දණඉස් වැනුණේය. එහෙත් අපට විරුද්ධව යුද්ධකරන සෙනඟ නැගීඑන විපත්ති දවසේදී මට නිශ්චලය ලැබෙයි. මක්නිසාද අත්තික්කා ගස දළු නොලෑවත්, මුද්‍රිකවැල්වල පලදාවක් නොතිබුණත්; ඔලීව ගසේ ඵල හට නොගත්තත්, කෙත්වලින් භෝජන නොලැබුණත්; ගාලෙන් එළු බැටළු රැළ සිඳදමනු ලැබුවත්, පට්ටිවල ගවයන් නැතුව ගියත්; මම වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි සන්තෝෂවන්නෙමි, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි. ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මාගේ බලයය, උන්වහන්සේ මගේ පාද මුවදෙනුන්ගේ පාදවලට සමානකොට, මාගේ උසස්ථාන පිට යන්ට සලස්වනසේක. [නායක ගායනාකරුටය, මාගේ වීණා ඇතුව ගීතිකාකිරීමටය.]

