උත්පත්ති 7:13-24

උත්පත්ති 7:13-24 SROV

එම දවසෙහිම නෝවාද නෝවාගේ පුත්‍රයන්වූ ෂෙම්, හාම් සහ යඵෙත්ද නෝවාගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන් සමඟ ඔවුන්ගේ භාර්යාවන් තුන්දෙනාද නැවට ඇතුල්වූවෝය; ඔව්හුද එක එක වර්ගයේ සියලු මෘගයෝද එක එක වර්ගයේ සියලු සිව්පාවෝද එක එක වර්ගයේ පොළොවෙහි බඩගා යන සියල්ලෝද එක එක වර්ගයේ සියලු පක්ෂීහුද සියලු වර්ගවල සියලු කුරුල්ලෝද ඇතුල්වූවෝය. මෙසේ ජීවන හුස්ම ඇති මාංසමය සියල්ලන්ගෙන් දෙන්න දෙන්නා බැගින් නෝවා වෙත නැවට ඇතුල්වූවෝය. ඇතුල්වූ සත්වයෝ දෙවියන්වහන්සේ ඔහුට අණකළ ලෙස මාංසමයවූ සියල්ලන්ගෙන් ගෑනු පිරිමි වශයෙන් ඇතුල්වූවෝය. ස්වාමීන්වහන්සේ ඔහු ඇතුල්කොට දොර වැසූසේක. ජලගැල්ම සතළිස් දවසක් පොළොවෙහි විය; ජලය වැඩිව නැව ඉල්පවිය, ඒක පොළොවෙන් ඉවත්ව ගියාය. ජලය බලවත්ව පොළොව පිට බොහෝසෙයින් වැඩිවිය; නැවද ජල මතුයෙහි ගියාය. ජලය පොළොව පිට අතිශයින් බලවත්විය; මුළු අහස යට පිහිටි සියලු උස් කඳු වැසීගියේය. කඳු වැසී ඊට ඉහළින් රියන් පසළොසක් ජලය උස්ව ගියේය. පක්ෂීහුද සිව්පාවෝද මෘගයෝද පොළොවෙහි බඩගා යන සියල්ලෝද සියලු මනුෂ්‍යයෝද යන පොළොව පිට හැසිරෙන මාංසමයවූ සියල්ලෝ නැසුණෝය. තමන්ගේ නාස්පුඩුවල ජීවන හුස්ම ඇත්තාවූ එනම් ගොඩබිම සිටි සියල්ලෝම මළෝය. මෙසේ මනුෂ්‍යයා පටන් සිව්පාවාද බඩගා යන සත්වයාද ආකාශයේ පක්ෂියාද දක්වා භූමිය මතුපිට සිටි සියලු ප්‍රාණීහුම විනාශකරන ලද්දෝය; ඔව්හු පොළොවෙන් විනාශ කරනලද්දෝය. නෝවා සහ ඔහු සමඟ නැවෙහි සිටියාහු පමණක් ඉතිරිවූවෝය. ජලය එකසිය පනස් දවසක් පොළොව පිට බලවත්ව පැවතුණේය.

උත්පත්ති 7:13-24 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය