උත්පත්ති 45:1-14

උත්පත්ති 45:1-14 SROV

එකල්හි යෝසෙප් තමන් සමඟ සිටි සියල්ලන් ඉදිරියෙහි ඉවසාගන්ට නොහැකිව: සියලු මිනිසුන් මා වෙතින් පිටතට අරින්නැයි මොරගසා කීය. යෝසෙප් තමාගේ සහෝදරයන්ට තමාම අඳුන්වාදෙන අතර ඔහු සමඟ කිසිවෙක් නොසිටියේය. ඔහු ශබ්ද නගා හැඬීය. එය මිසරවරුන්ට ඇසුණේය, ඵාරාවෝගේ ගෙයි වැසියන්ටත් ඇසුණේය. යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම යෝසෙප්ය; මාගේ පියා තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය. ඔහුගේ සහෝදරයෝ ඔහුට උත්තරදෙන්ට නොහැකිවූවෝය; මක්නිසාද ඔහු ඔවුන් ඉදිරියෙහි වූ බැවින් ඔව්හු කැලඹී සිටියෝය. යෝසෙප්: අනේ මා ළඟට එන්නැයි තමාගේ සහෝදරයන්ට කීය. ඔව්හු ළංවුණෝය. එවිට ඔහු: මම නුඹලා මිසරයට වික්කාවූ නුඹලාගේ සහෝදරවූ යෝසෙප්ය. නුඹලා මේ රටට මා වික්ක නිසා ශෝකනොවන්න, නුඹලාටම කෝපනොවන්න. මක්නිසාද දෙවියන්වහන්සේ ජීවිත ආරක්ෂාකරන පිණිස නුඹලට පෙරටුව මා එවූසේක. කුමක්හෙයින්ද මේ දෑවුරුද්දේ දේශයෙහි සාගතය පැවතුණේය. සීසෑමක්වත් කැපීමක්වත් නැත්තාවූ තවත් පස් අවුරුද්දක් වන්නේය. දෙවියන්වහන්සේ නුඹලා පොළොවෙහි ඉතිරිකරන පිණිසද මහත්වූ ගැළවීමකින් නුඹලාගේ ජීවිත ආරක්ෂාකරන පිණිසද නුඹලාට පෙරටුව මා එවූසේක. එබැවින් මා මෙහි එවුවේ නුඹලා නොව දෙවියන්වහන්සේය. උන්වහන්සේ මා ඵාරාවෝට පියෙක්ද ඔහුගේ මුළු ගෙදරට ස්වාමියෙක්ද මුළු මිසර දේශයට ආණ්ඩුකාරයෙක්ද කළසේක. නුඹලා ඉක්මන්කොට මාගේ පියා වෙතට ගොස්: ඔබගේ පුත්‍රවූ යෝසෙප් මෙසේ කියයි–දෙවියන්වහන්සේ මා මුළු මිසර දේශයට ස්වාමියා කළසේක. ප්‍රමාද නොව මා වෙතට අව මැනවි. ඔබ ගෝෂෙන් දේශයෙහි වාසයකරමින් ඔබද ඔබගේ දරුවෝද ඔබගේ දරුවන්ගේ දරුවෝද ඔබගේ එළු බැටළු රැළවල්ද ඔබගේ ගව රැළවල්ද ඔබ සන්තක සියල්ලෝද මා ළඟ සිටින්නහුය. ඔබද ඔබගේ ගෙයි වැසියන්ද ඔබ සන්තක සියල්ලන්ද දිළිඳු බවට නොපැමිණෙන පිණිස එහි ඔබ රක්ෂාකරන්නෙමි; මක්නිසාද සාගතය තව අවුරුදු පහක් පවතින්නේයයි කියන්න. මෙන්න, නුඹලාට කථාකරන්නේ මාගේ මුඛය බව නුඹලාගේ ඇස්වලටද මාගේ සහෝදරවූ බෙන්යමින්ගේ ඇස්වලටද පෙනෙයි. නුඹලා මිසරයෙහි මාගේ සියලු ඓශ්චර්ය ගැනද නුඹලා දුටු සියල්ල ගැනද මාගේ පියාට දන්වා ඉක්මන්කොට මාගේ පියා මෙහි කැඳවාගෙන එන්නැයි තමාගේ සහෝදරයන්ට කීය. තවද ඔහු තම සහෝදරවූ බෙන්යමින්ගේ බෙල්ල බදාගෙන හැඬීය; බෙන්යමින්ද ඔහුගේ බෙල්ල බදාගෙන හැඬීය.