උත්පත්ති 41:37-44

උත්පත්ති 41:37-44 SROV

ඒ කාරණය ඵාරාවෝටද ඔහුගේ සියලු මෙහෙකරුවන්ටද හොඳව පෙනුණේය. එවිට ඵාරාවෝ තමාගේ සේවකයන්ට කථාකොට: තමා තුළ දෙවියන්වහන්සේගේ ආත්මය ඇත්තාවූ මේ මනුෂ්‍යයා වැනි කෙනෙක් අපට සොයාගන්ට පුළුවන්දැයි කීවේය. ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: දෙවියන්වහන්සේ මේ සියල්ල නුඹට දැක්වූ නිසා නුඹ පමණ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත කෙනෙක් නැත. නුඹ මාගේ ගෘහයට ප්‍රධානියා විය යුතුය. මාගේ මුළු සෙනඟ නුඹේ වචනයට යටත් වන්නේය. සිංහාසනයෙහිදී පමණක් මම නුඹට වඩා උසස්වෙමියි කීවේය. තවද ඵාරාවෝ: මුළු මිසර දේශයට මා විසින් නුඹ අධිපති කොට පත්කළ බව දැනගන්නැයි යෝසෙප්ට කීවේය. ඵාරාවෝ වනාහි තමාගේ අතේ තිබුණ පේරැස් මුද්ද ගළවා යෝසෙප්ගේ අතේ දමා, සිහින් වස්ත්‍රයෙන් ඔහු අඳවා, ඔහුගේ කරෙහි රන් මාලාවක් ලා, ඔහුට තමාගේ දෙවෙනි රථයෙන් යන්ට සැලැස්විය. මිනිස්සුද: දණ නමව් කියා මොරගසමින් ඔහුට පෙරටුව ගියෝය. ඵාරාවෝ මුළු මිසර දේශය කෙරෙහි ඔහු අධිපති කොට තැබුවේය. ඔහු යෝසෙප්ට කථාකරමින්: මම ඵාරාවෝය, නුඹ නැතුව මුළු මිසර දේශයෙහි කිසිවෙක් තමාගේ අතවත් පයවත් ඔසවන්නේ නැතැයි කීවේය.

මෙයට අදාළ වීඩියෝ