උත්පත්ති 33:3-11
උත්පත්ති 33:3-11 SROV
ඔවුන්ට ඉස්සරවී, තමාගේ සහෝදරයා ළඟට එන තෙක් සත්වරක් බිමට නැමී වැන්දේය. එවිට ඒසව් ඔහු සම්මුඛවෙන්ට දිවගොස් ඔහු වැළඳගෙන බෙල්ල බදාගෙන ඔහු සිඹගත්තේය. තවද ඔව්හු ඇඬුවෝය. ඒසව් ඇස් ඔසවා ස්ත්‍රීන් හා දරුවන් දැක: නුඹ සමඟ සිටින මොව්හු කවුරුදැයි ඇසුවේය. දෙවියන්වහන්සේ කරුණාවෙන් ඔබගේ මෙහෙකරුවාට දුන් දරුවෝයයි ඔහු කීවේය. එකල දාසීහුද ඔවුන්ගේ දරුවෝද ළංවී වැන්දෝය. ලෙයාද ඇගේ දරුවෝද ළංවී වැන්දෝය. ඉන්පසු යෝසෙප්ද රාඛෙල්ද ළංවී වැන්දෝය. මට සම්බවුණු නුඹේ ඔය පිරිස කුමක් පිණිසදැයි ඒසව් ඇසුවේය. මාගේ ස්වාමිහුගෙන් කරුණාව ලැබෙන පිණිසයයි ඔහු කීවේය. ඒසව්: මට සෑහෙන පමණ තිබේ; මාගේ සහෝදරය, නුඹට තිබෙන දේ නුඹටම තිබේවයි කීය. එවිට යාකොබ්: එසේ නොවේවා; ඔබගෙන් කරුණාව ලදිම්නම් මා අතින් මාගේ තෑග්ග පිළිගතමැනවි. කුමක්හෙයින්ද කෙනෙක් දෙවියන්වහන්සේගේ මුහුණ දකින්නාක් මෙන් මම ඔබගේ මුහුණ දුටුවෙමි, ඔබ මා කෙරෙහි ප්‍රසන්නවූයෙහිය. දෙවියන්වහන්සේ මට කරුණා කළ හෙයින්ද සෑහෙන පමණ මට තිබෙන හෙයින්ද ඔබට ගෙනාවාවූ මාගේ තෑග්ග පිළිගතමැනවියි කියා ඔහුට පෙරැත්ත කෙළේය. එවිට ඔහු ඒක පිළිගත්තේය.

