උත්පත්ති 3:7-21

උත්පත්ති 3:7-21 SROV

එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී තමන් නග්නව සිටින බව ඔව්හු දැනගත්තෝය; ඔව්හු අත්තික්කා කොළ මහා තමන්ට ඉණවැසුම් සාදාගත්තෝය. ඉක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිවූ දෙවියන්වහන්සේ උයනෙහි සක්මන්කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට හඬගසමින්: නුඹ කොහේදැයි ඔහුට කීසේක. ඔහු: මට ඔබවහන්සේගේ ශබ්දය උයනෙහිදී ඇසී මම නග්න බැවින් භයපත්ව සැඟවුණෙමියි කීය. උන්වහන්සේ: නුඹ නග්න බව නුඹට කීවේ කවුද? නොකන්ට මා ආඥාකළ ගහෙන් කෑවෙහිදැයි ඇසූසේක. මනුෂ්‍යයාද: මා සමඟ සිටින්ට ඔබවහන්සේ දුන් ස්ත්‍රී ගහෙන් මට දුන්නාය, මමද කෑවෙමියි කීය. ස්වාමිවූ දෙවියන්වහන්සේ: නුඹ කළ මේ දෙය මොකදැයි ස්ත්‍රියට කීසේක. ස්ත්‍රීද: සර්පයා මා රැවටුවේය, මම කෑවෙමියි කීවාය. එවිට ස්වාමිවූ දෙවියන්වහන්සේ සර්පයාට කථාකොට: තා මේක කළ බැවින් සියලු තිරිසනුන්ටත් වනයේ සියලු සත්වයන්ටත් වඩා තෝ ශාප ලද්දෙක්ය; තෝ බඩගායමින් තාගේ ජීවිතයේ සියලු දවස්වලම ධූලි කන්නෙහිය. මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක. උන්වහන්සේ ස්ත්‍රියට කථාකොට: නුඹේ ශෝකය හා ගැබ්ගැනීම බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹ වේදනා සහිතව දරුවන් වදන්නීය; නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේයයි කීසේක. උන්වහන්සේ ආදම්ට කථාකොට: නුඹේ භාර්යාවගේ හඬට ඇහුම්කන්දී නොකන්ට මා අණකළ ගහෙන් කෑ බැවින් නුඹ නිසා භූමිය ශාපලද්දීය; නුඹේ ජීවිතයේ සියලු දවස්වලම නුඹ වෙහෙසින් යුක්තව එයින් කන්නෙහිය; එය නුඹට කටුද ගොකටුද උපදවන්නේය; නුඹ වනයේ පලා කන්නෙහිය; නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහියයි කීසේක. මනුෂ්‍යයා තමාගේ භාර්යාව ජීවමාන සියල්ලන්ගේ මවු හෙයින් ඈට ඒව යන නම තැබීය. ස්වාමිවූ දෙවියන්වහන්සේ ආදම්ට සහ ඔහුගේ භාර්යාවට සම්වලින් ඇඳුම් සාදා ඇන්දවූසේක.

උත්පත්ති 3:7-21 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය