උත්පත්ති 3:15-20

උත්පත්ති 3:15-20 SROV

මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක. උන්වහන්සේ ස්ත්‍රියට කථාකොට: නුඹේ ශෝකය හා ගැබ්ගැනීම බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹ වේදනා සහිතව දරුවන් වදන්නීය; නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේයයි කීසේක. උන්වහන්සේ ආදම්ට කථාකොට: නුඹේ භාර්යාවගේ හඬට ඇහුම්කන්දී නොකන්ට මා අණකළ ගහෙන් කෑ බැවින් නුඹ නිසා භූමිය ශාපලද්දීය; නුඹේ ජීවිතයේ සියලු දවස්වලම නුඹ වෙහෙසින් යුක්තව එයින් කන්නෙහිය; එය නුඹට කටුද ගොකටුද උපදවන්නේය; නුඹ වනයේ පලා කන්නෙහිය; නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහියයි කීසේක. මනුෂ්‍යයා තමාගේ භාර්යාව ජීවමාන සියල්ලන්ගේ මවු හෙයින් ඈට ඒව යන නම තැබීය.