උත්පත්ති 22:2-12

උත්පත්ති 22:2-12 SROV

උන්වහන්සේ: නුඹේ පුත්‍රවූ නුඹ ප්‍රේමකරන නුඹේ එකම පුත්‍රවූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස්, මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පුකරවයි කීසේක. ආබ්‍රහම් අලුයම නැගිට තමාගේ කොටළුවා සූදානම්කොට, තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත්‍රවූ ඊසාක්ද රැගෙන, දවන පූජාව පිණිස දර පළාගෙන, නැගිට දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට ගියේය. තුන්වෙනි දින ආබ්‍රහම් ඇස් එසවූයේ ඒ ස්ථානය දුර සිට දුටුවේය. ආබ්‍රහම් තමාගේ තරුණයන්ට කථාකොට: කොටළුවා සමඟ නුඹලා මෙහි සිටින්න, ළමයාත් මමත් අතනට ගොස් නමස්කාරකොට නුඹලා වෙතට නැවත එන්නෙමුයයි කීය. එවිට ආබ්‍රහම් දවන පූජාවට ගෙනා දර රැගෙන තමාගේ පුත්‍රවූ ඊසාක් පිට තබා තමාගේ අතින් ගිනිද පිහියද ගත්තේය; ඔව්හු දෙදෙනා එක්ව ගියෝය. ඊසාක් තමාගේ පියවූ ආබ්‍රහම්ට කථාකොට: මාගේ පියාණෙනියි කීය. ඔහුද: මාගේ පුත්‍රය, මම මෙහියයි කීය. ඔහු: බැලුව මැනවි, ගින්දරත් දරත් තිබේ, එහෙත් දවන පූජාවට බැටළුපැටවා කොයිදැයි කීවේය. ආබ්‍රහම්: මාගේ පුත්‍රය, දෙවියන්වහන්සේම දවන පූජාවක් පිණිස බැටළුපැටවා සපයා ගන්නවා ඇතැයි කීවේය. මෙසේ ඔව්හු දෙදෙනා එක්ව ගොස් දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට පැමුණුණෝය; එවිට ආබ්‍රහම් එහි පූජාසනය ගොඩනගා, දර පිළිවෙළින් තබා, තම පුත්‍රවූ ඊසාක් බැඳ පූජාසනය උඩ දර පිට තැබුවේය. තවද ආබ්‍රහම් තමාගේ අත දිගුකොට තම පුත්‍රයා මරන පිණිස පිහිය ගත්තේය. එවිට ස්වාමීන්වහන්සේ ගේ දූතයා ස්වර්ගයෙහි සිට ඔහුට අඬගසා: ආබ්‍රහම්, ආබ්‍රහම්යයි කීයේය. ඔහුද: මම මෙහියයි කීය. දේවදූතයා: නුඹේ අත තරුණයා පිට නොතබව, ඔහුට කිසිවක් නොකරව. මක්නිසාද නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා මාගෙන් නොවැළැක්වූ බැවින් නුඹ දෙවියන්වහන්සේට භයවෙන බව දැන් දනිමියි කීයේය.

මෙයට අදාළ වීඩියෝ

උත්පත්ති 22:2-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය