ස්වාමීන්වහන්සේ තමන් කියා තිබුණු ලෙස සාරා දෙස බැලූසේක, ස්වාමීන්වහන්සේ කථාකළ ලෙස සාරාට කළසේක. සාරා ගර්භිණීව දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට කීවාවූ නියම කාලයෙහිදී ඔහුගේ මහලු වයසෙහි ඔහු නිසා පුත්‍රයෙකු බිහිකළාය. ආබ්‍රහම්ද තමාට උපන්නාවූ, සාරා තමාට බිහිකළාවූ තමාගේ පුත්‍රයාට ඊසාක් යන නම තැබීය. දෙවියන්වහන්සේ තමාට අණ දුන් ලෙස ආබ්‍රහම් තමාගේ පුත්‍රවූ ඊසාක්ට අට දවසක් වයස්වූ කල්හි ඔහු චර්මඡේද්‍යයකෙළේය. ආබ්‍රහම් තමාගේ පුත්‍රවූ ඊසාක් උපදින කල අවුරුදු සියයක් වයස්ව සිටියේය. දෙවියන්වහන්සේ මා සිනාසෙන්ට සැලැස්වූසේක; ඒ අසන සියල්ලන් මා සමඟ සිනාසෙනවා ඇතැයි සාරා කීවාය. තවද: සාරා දරුවන්ට කිරිදෙනවා ඇතැයි ආබ්‍රහම්ට කියන්ට සිතුවේ කවුද? මක්නිසාද මම ඔහුට ඔහුගේ මහලු වයසෙහිදී පුත්‍රයෙකු වැදුවෙමියි ඈ කීවාය. ළදරුවා වැඩී කිරිවැරුවේය. ඊසාක් කිරිවැරූ දවසෙහි ආබ්‍රහම් මහත් මංගල්‍ය කෑමක් පිළියෙළ කෙළේය. මිසරීය හාගර් ආබ්‍රහම් නිසා බිහිකළාවූ පුත්‍රයා ඊසාක්ට සරදම්කරනවා සාරා දුටුවාය. එහෙයින් ඈ ආබ්‍රහම්ට කථාකොට: මේ දාසිය සහ ඇගේ පුත්‍රයා පිටත දමන්න. මක්නිසාද මේ දාසියගේ පුත්‍රයා මාගේ පුත්‍රයාවූ ඊසාක් සමඟ උරුමක්කාර නොවන්නේයයි කීවාය. ආබ්‍රහම්ට මේ කාරණය තමාගේ පුත්‍රයා නිසා තද කනගාටුවක් විය. එවිට දෙවියන්වහන්සේ: ළමයා නිසාත් නුඹේ දාසිය නිසාත් කනගාටු නොවන්න; සාරා නුඹට කියන සියල්ල ගැන ඇගේ හඬට කන් දෙන්න; මක්නිසාද නුඹේ වංශය කියවෙන්නේ ඊසාක්ගෙන්ය. දාසියගේ පුත්‍රයා නුඹේ බීජය බැවින්, ඔහුගෙන්ද ජාතියක් කරන්නෙමියි ආබ්‍රහම්ට කීසේක. ආබ්‍රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය. ඈ පිටත්ව ගොස් බෙයර්-ෂෙබා නම් වනයෙහි මංමුළාවූවාය. භාජනයෙහි වතුර ඉවර විය, ඈ දරුවා පඳුරක් යට තබා ගොස් ඔහු ඉදිරියෙන් ඈත්ව දුනුසැරයක් පමණ දුරින් හිඳගත්තාය. මක්නිසාද: දරුවාගේ මරණය මට නොපෙනේවයි ඈ කීවාය. ඈ ඔහුට ඉදිරිපිටින් හිඳගෙන ශබ්දනගා හැඬුවාය. දෙවියන්වහන්සේ ළමයාගේ හඬ ඇසූසේක; දෙවියන්වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට හඬගසා: හාගර්, නුඹට මක්වෙලාද? භය නොවෙන්න; මක්නිසාද දෙවියන්වහන්සේ ළමයා සිටින තැනින් ඔහුගේ ශබ්දය ඇසූසේක. නැගිට ළමයා ඔසවා නුඹේ අතින් අල්ලා ගන්න. මක්නිසාද මම ඔහු මහත් ජාතියක් කරන්නෙමියි කීසේක. දෙවියන්වහන්සේ ඇගේ ඇස් ඇරෙවූසේක, එවිට ඈ වතුර ඇති ළිඳක් දැක එහි ගොස් භාජනයට වතුර පුරවාගෙන ළමයාට බොන්නට දුන්නාය. තවද දෙවියන්වහන්සේ ළමයා සමඟවූසේක, ඔහු වැඩී වනයෙහි වාසයකොට දුනුකාරයෙක් විය. ඔහු පාරාන් නම්වූ වනයෙහි වාසය කෙළේය. ඔහුගේ මවු ඔහුට මිශරදේශයෙන් භාර්යාවක් ගෙන දුන්නාය.
උත්පත්ති 21 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 21:1-21
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ