ගලාති 3:21-29

ගලාති 3:21-29 SROV

එසේවී නම් ව්‍යවස්ථාව දෙවියන්වහන්සේගේ පොරොන්දුවලට විරුද්ධද? එසේ නොවේවා. මක්නිසාද ජීවත්කරන්ට පුළුවන්වූ ව්‍යවස්ථාවක් දෙනලද්දේ නම්, ධර්මිෂ්ඨකම සැබවින් ව්‍යවස්ථාවෙන් වෙනවා ඇත. එසේවී නුමුත් අදහන්නන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් වූ පොරොන්දුව දෙනු ලබන පිණිස, ලියවිල්ල සියල්ලන්ම පාපය යට වසා තැබුවේය. නුමුත් එළිදරව්වෙන්ට තිබුණු ඇදහීම පිණිස, ඒ ඇදහීම පැමිණෙන්ට පළමුවෙන්, අපි හිරඅඩස්සිවී ව්‍යවස්ථාව යටතේ ආරක්ෂාකරනු ලැබුවෙමුව. මෙසේ අපි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ව්‍යවස්ථාව අප ක්‍රිස්තුස්වහන්සේ ළඟට පමුණුවන අපේ ගුරුවරයෙක් වී තිබේ. නුමුත් දැන් ඇදහිල්ල පැමිණ තිබෙන බැවින්, අපි තවත් ගුරුවරයෙකු යටතේ නොවමුව. මක්නිසාද නුඹලා සියල්ලෝම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය. මක්නිසාද නුඹලාගෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තීස්මකරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස්වහන්සේ පැළඳගත්තෝය. නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ. ඉදින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ නම්, නුඹලා ආබ්‍රහම්ගේ වංශයද පොරොන්දුව ලෙස උරුමක්කාරයෝද වන්නහුය.