එසකියෙල් 1

1
ප්‍රාරම්භ දර්ශනය. බබළන සිංහාසනය
1තිස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ පස්වෙනිදා කෙබාර් ගංගාව ළඟ වහලට අසුවූවන් අතරේ මා සිටින කල්හි අහස විවෘතවී දේවදර්ශන මට පෙනුණේය. 2යෙහෝයාඛීන් රජුගේ වහල්කමේ පස්වෙනි අවුරුද්දේ මාසයේ පස්වෙනිදා, 3කල්දිවරුන්ගේ දේශයෙහි කෙබාර් ගංගාව ළඟ බූසීගේ පුත්‍රවූ එසකියෙල් නම් පූජකයා වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමුණුණේය; ස්වාමීන්වහන්සේගේ අතද එහිදී ඔහු පිට විය. 4මා බැලූ විට හුළං කුණාටුවක් උතුරෙන් එනවා දුටිමි, මහත් වලා පටලයක්ද ඇවිළීයන ගින්නක්ද ඒ වටකර දීප්තිමත්කමක්ද දිලිහෙන පිත්තල මෙන් ගින්න මැද සිට බැබළීමක්ද වූයේය. 5තවද එහි මැද සිට සත්වයන් සතර දෙනෙකුගේ ස්වරූප නික්මුණේය. ඔවුන්ගේ පෙනීම මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූපය තිබුණේය. 6ඔවුන් එකිනෙකාට මුහුණු සතරක්ද එකිනෙකාට පියාපත් සතරක්ද විය. 7ඔවුන්ගේ පාද ඇද නැති පාදය; ඔවුන්ගේ පාද පතුල් වස්සෙකුගේ පාද පතුල් මෙන්ය. ඒවා දීප්තිමත් පිත්තල මෙන් දිලිසුණේය. 8ඔවුන්ගේ සතර පැතිවල ඔවුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අත් තිබුණේය. ඒ සතරදෙනාගේ මුහුණු සහ පියාපත්ද මෙසේය: 9ඔවුන්ගේ පියාපත් එකිනෙකට බැඳී තැවරී තිබුණේය; ඔව්හු යන විට නොහැරී කෙළින් ඉස්සරහට ගියෝය. 10ඔවුන්ගේ මුහුණුවල ස්වරූපය මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය මුහුණක්ද ඔවුන් සතරදෙනාට දකුණු පැත්තේ සිංහ මුහුණක්ද ඔවුන් සතරදෙනාට වම් පැත්තේ ගව මුහුණක්ද ඔවුන් සතරදෙනාට රාජාලි මුහුණක්ද බැගින් තිබුණේය. 11ඔවුන්ගේ මුහුණුද ඔවුන්ගේ පියාපත්ද ඉහළින් වෙන්ව තිබුණේය; එකිනෙකාගේ පියාපත් දෙකක් තවත් කෙනෙකුගේ පියාපත් දෙකකට වැදී තිබුණේය. දෙකකින් ඔවුන්ගේ ශරීරය වැසී තිබුණේය. 12ඔවුන් එක එකා කෙළින් ඉස්සරහට ගියේය. ආත්මය යම් තැනකට යන්ට කැමැතිවීද ඔව්හු එහි ගියෝය; ඔව්හු යන විට නොහැරුණෝය. 13ඒ සත්වයන්ගේ ස්වරූපය මෙසේය: ඔවුන්ගේ පෙනීම ඇවිළෙන ගිනිඅඟුරු මෙන්ය, පන්දම්වල පෙනීම මෙන්ය; ගින්න සත්වයන් අතරේ එහා මෙහා ගියේය. එය දීප්තිමත්ව තිබුණේය, ඒ ගින්නෙන් විදුලි නික්මුණේය. 14ඒ සත්වයෝ විදුලි කෙටීමක පෙනීම මෙන් දිවගොස් හැරී ආවෝය. 15මා සත්වයන් දෙස බලා සිටියදී සත්වයන් ළඟ එක එකාගේ මුහුණු සතරට චක්‍රයක් බැගින් පොළොව පිට තිබෙනවා දුටිමි. 16චක්‍රවලද ඒවායේ කර්මාන්තවලද පෙනීම රන්කාන්තියක පාට මෙන්ය. ඒ සතරටම තිබුණේ එකාකාර ස්වරූපයක්ය. ඒවායේ පෙනීමද ඒවායේ කර්මාන්තද එක චක්‍රයක් තවත් චක්‍රයක් තුළ තිබෙන්නාක්මෙන් වූයේය. 17ඒවා යන විට නොහැරී ඒවායේ පැති සතරේ ප්‍රකාරයට ගියේය. 18ඒවායේ වළලු වනාහි උස්ව භයානකව තිබුණේය. ඒ සතරේම වළලු වටේට පුරාම ඇස් තිබුණේය. 19සත්වයන් යන විට චක්‍රත් ඔවුන් කැටුව ගියේය. සත්වයන් පොළොවෙන් නගින විට චක්‍රද නැංගේය. 20ආත්මය යන්ට සිටි කොයි තැනකට නුමුත් ඔව්හු ගියෝය; ආත්මය යන්ට කැමැතිවූ ස්ථානයකට චක්‍රත් ඔවුන් එක්වම නැංගේය; මක්නිසාද සත්වයාගේ ආත්මය චක්‍රවල තිබුණේය. 21ඔවුන් යන විට ඒවාත් ගියේය; ඔවුන් නැවතුණු විට ඒවාත් නැවතුණේය; ඔවුන් පොළොවෙන් නගින විට ඔවුන් එක්වම චක්‍රත් නැංගේය. මක්නිසාද සත්වයාගේ ආත්මය චක්‍රවල තිබුණේය. 22තවද සත්වයාගේ හිසට උඩින් භයානක පළිඟුවල පාට වැනි ආකාශයක සමානත්වයක් තිබුණේය, එය ඔවුන්ගේ හිස්වලට ඉහළින් විහිදී තිබුණේය. 23ආකාශයට යටින් ඔවුන්ගේ පියාපත් එකකට එකක් කෙළින්ව තිබුණේය. එකිනෙකාගේ ශරීරයේ එහා පැත්ත දෙකකින්ද මෙහා පැත්ත දෙකකින්ද වැසී තිබුණේය. 24ඔවුන් යන විට, ඔවුන්ගේ පියාපත්වල ශබ්දය බොහෝ ජල ධාරාවන්ගේ ශබ්දය මෙන්ද සර්වපරාක්‍රමයාණන්ගේ හඬ මෙන්ද මට ඇසුණේය, එය සේනාවක ඝෝෂාව මෙන් කෝලාහල ඝෝෂාවක්ය. ඔවුන් හිටින විට තමුන්ගේ පියාපත් පහත්කරගත්තෝය. 25ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයට ඉහළින් හඬක් පැමිණුණේය. ඔවුන් හිටින විට තමුන්ගේ පියාපත් පහත්කරගත්තෝය. 26ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයට ඉහළින් නීලමාණික්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේය. සිංහාසනයේ ස්වරූපය උඩ මනුෂ්‍ය පෙනීමක් ඇති ස්වරූපයක් තිබුණේය. 27එහි තුළ වටකරින් උන්වහන්සේගේ ඉඟටිය වැනිවූ පෙනීමේ සිට ඉහළට ගිනි පෙනීමක් වැනි දිලිහෙන පිත්තලවල බැබළීමක් වාගේ දුටිමි; උන්වහන්සේගේ ඉඟටිය වැනිවූ පෙනීමේ සිට පහළටත් ගිනිපෙනීමක් මෙන්ද ඒ වටකර දීප්තිමත්කමක්ද දුටිමි. 28වටකර තිබුණු දීප්තිමත්කමේ පෙනීම වර්ෂා දවසක වලාකුළේ තිබෙන දේදුන්නේ පෙනීම මෙන්ය. මේ වනාහි ස්වාමීන්වහන්සේගේ තේජසේ ස්වරූපයේ පෙනීමය. මම එය දුටු කල මුහුණින් වැටුණෙමි, කථාකරන කෙනෙකුගේ හඬ මට ඇසුණේය.

දැනට තෝරාගෙන ඇත:

එසකියෙල් 1: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න