නික්මයාම 40:18-34

නික්මයාම 40:18-34 SROV

මෝසෙස් මණ්ඩපය පිහිටුවා ඒකේ අඩි සවිකොට ඒකේ ලෑලි පිහිටුවා ඒකේ පොලු දමා ඒකේ කුළුනු හිටවිය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු මණ්ඩපය මතුපිටින් කූඩාරම අතුරා ඊට උඩින් කූඩාරමේ වැස්ම තැබීය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු සාක්ෂිය පෙට්ටියෙහි තබා, පෙට්ටියට පොලුද පෙට්ටිය උඩ කරුණාසනයද තබා, පෙට්ටිය මණ්ඩපය ඇතුළට ගෙනවුත් වැසීමේ තිරය එල්වා, සාක්ෂිපෙට්ටිය වෙන්කෙළේය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණදුන් ලෙස ඔහු මේසය සම්මුඛවීමේ කූඩාරම තුළ මණ්ඩපයේ උතුරු පැත්තෙහි තිරයට පිටතින් තබා, ඒක උඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිවෙළින් රොටී තැබීය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු පහන් රුක සම්මුඛවීමේ කූඩාරමෙහි මේසය ඉදිරිපිට මණ්ඩපයේ දකුණු පැත්තේ තබා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පහන් දැල්විය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු රන් පූජාසනය සම්මුඛවීමේ කූඩාරමෙහි තිරය ඉදිරිපිට තබා, ඊ පිට සුගන්ධ ධූප ද්‍රව්‍ය දැවීය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස මණ්ඩප දොරකඩ කඩතුරාව එල්ලා, දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩප දොරකඩ ළඟ තබා, ඊ පිට දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකෙළේය. ඔහු සෝදන භාජනය සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද අතරෙහි තබා සේදීමට වතුර එහි වත්කෙළේය. මෝසෙස්ද ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝද ඔවුන්ගේ අත් පා එහි සේදුවෝය. ඔව්හු සම්මුඛවීමේ කූඩාරම ඇතුළට ගිය කල්හිද පූජාසනයට ළංවූ කල්හිද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස සෝදාගත්තෝය. ඔහු මණ්ඩපය හා පූජාසනය වටේට මළුව පිහිටුවා මළුවේ දොරකඩ කඩතුරාව තැබීය. මෙසේ මෝසෙස් වැඩ නිමකෙළේය. එවිට වලාකුළ සම්මුඛවීමේ කූඩාරම වසා ගත්තේය, ස්වාමීන්වහන්සේගේ තේජසෙන් මණ්ඩපය පිරීගියේය.