නික්මයාම 4:1-7

නික්මයාම 4:1-7 SROV

එවිට මෝසෙස් උත්තර දෙමින්: එහෙත් බැලුව මැනව, ඔවුන් මා විශ්වාස නොකොට, මාගේ හඬට ඇහුම්කන් නොදී, ස්වාමීන්වහන්සේ නුඹට නොපෙනුණුසේකැයි කියනවා ඇතැයි කීය. එවිට ස්වාමීන්වහන්සේ: නුඹේ අතේ තිබෙන්නේ මොකක්දැයි ඔහුගෙන් ඇසූසේක. සැරයටියක්යයි ඔහු කීවේය. උන්වහන්සේ: ඒක බිම හෙලන්නැයි කීසේක. ඔහු ඒක බිම හෙළූ විට ඒක සර්පයෙක් විය; මෝසෙස් ඌ ඉදිරියෙන් දිවුවේය. ස්වාමීන්වහන්සේ: නුඹේ අත දිගුකොට ඌ වල්ගෙන් අල්වා ගන්නැයි මෝසෙස්ට කීසේක. (ඔහු තමාගේ අත දිගුකොට ඌ අල්වාගත්තේය, ඌ ඔහුගේ අතෙහි සැරයටියක් වුණේය.) ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පෙනුණු බව ඔවුන් විසින් විශ්වාස කරන පිණිස එසේ කරන්නැයි කීසේක. තවද ස්වාමීන්වහන්සේ: නුඹේ අත නුඹේ ළයෙහි තබන්නැයි ඔහුට කීසේක. ඔහු අත තමාගේ ළයෙහි තැබීය. ඔහු ඒක අහකට ගත්විට, බලව, ඔහුගේ අත හිම මෙන් කුෂ්ඨයෙන් සුදුවී තිබුණේය. උන්වහන්සේ: නුඹේ අත නැවත ළයෙහි තබන්නැයි කීසේක. (ඔහු තමාගේ අත නැවත ළයෙහි තැබීය; ඔහු ඒක තමාගේ ළයෙන් පිටතට ගත් විට, බලව, එය ඔහුගේ අනික් මාංසය මෙන් හරිගැහී තිබුණේය.)