නික්මයාම 36

36
1බෙශලෙල් සහ ඔහොලියාබ්ද ස්වාමීන්වහන්සේ අණකළ සියල්ල ලෙස ශුද්ධස්ථානයේ මෙහෙයේ සියලු ආකාර කර්මාන්ත කරන හැටි දැන ගන්නා පිණිස ස්වාමීන්වහන්සේ විසින් ප්‍රඥාවත් බුද්ධියත් දෙනලද්දාවූ නැණවත් සිත් ඇති සියල්ලන්ද වැඩකරනවා ඇතැයි කීවේය.
2මෝසෙස් වනාහි බෙශලෙල් හා ඔහොලියාබ්ද ස්වාමීන්වහන්සේ විසින් සිතෙහි ප්‍රඥාව තබනලද නැණවත් සිත් ඇති සියලු මනුෂ්‍යයන්ද එනම් ඒ වැඩේකරන පිණිස පොළඹවනලද සිත් ඇති සියල්ලන්ද කැඳවිය. 3ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් ශුද්ධස්ථානයේ මෙහෙයේ කර්මාන්ත කිරීමට ගෙනාවාවූ මුළු පඬුර මෝසෙස්ගෙන් බාරගත්තෝය. සෙනඟද උදයක් පාසා තවත් ස්වෙච්ඡා පඬුරු ඔහු වෙතට ගෙනාවෝය. 4ශුද්ධස්ථානයේ සියලු කර්මාන්ත කළාවූ සියලු ශිල්පීහු තම තමන් කළ කර්මාන්තය හැර ඇවිත් 5මෝසෙස්ට කථාකොට: කරන්ට කියා ස්වාමීන්වහන්සේ අණකළ කර්මාන්ත මෙහෙවරය සඳහා සෑහෙන පමණට හුඟක් වැඩියෙන් සෙනඟ ගෙනෙතියි කීවෝය. 6එවිට මෝසෙස්ගේ අණ පිට: කිසි පුරුෂයෙක්වත් ස්ත්‍රීයක්වත් ශුද්ධ ස්ථානයට පූජාකරන පිණිස තවත් කිසි කර්මාන්තයක් නොකෙරේවයි මුළු කඳවුරෙහි ප්‍රකාශයක් කරන ලෙස නියමයක් කළෝය. මෙසේ සෙනඟ පූජා ගෙනඊමෙන් වලක්වනු ලැබුවෝය. 7මක්නිසාද ඔවුන්ට තිබුණු ද්‍රව්‍ය වැඩ සියල්ල කිරීමට ඔවුන්ට සෑහී ඉතුරුත් විය.
මණ්ඩපය සෑදීම‍
8එවිට කර්මාන්තය කරන්නන් අතරේ නැණවත් සිත් ඇති සියල්ලෝ මණ්ඩපය තිර දසයකින් සෑදුවෝය; කටිනලද සිහින් හණ නූල්වලින්ද නිල්, රත්නිල්, රතු නූල්වලින්ද දක්ෂ කම්කරුවාගේ වැඩෙන් යුක්තවූ කෙරුබ් රූප සහිතව ඒ තිර සෑදුවෝය. 9එක එක තිරයේ දිග විසිඅට රියනක්ය, එක එක තිරයේ පළල සතර රියනක්ය. තිර සියල්ල එක ප්‍රමාණ විය. 10ඔහු තිර පහක් එකට එක මූට්ටුකෙළේය. අනික් තිර පහත් එකට එක මූට්ටුකෙළේය. 11මූට්ටුකළ තිරවල එක කෙළවරක තිරයේ වාටියෙහි නිල් පුඩු සෑදුවේය. මූට්ටුකළ අනික් තිරවල කෙළවරක තිරයේ වාටියෙහිත් එසේම සෑදුවේය. 12ඔහු එක තිරයක පුඩු පනසක්ද මූට්ටුකළ අනික් තිරවල කෙළවරෙහි පුඩු පනසක්ද එකිනෙකට ඉදිරියෙහි සෑදුවේය. 13රන් කොකු පනසක්ද සාදා මණ්ඩපය එකක්ව තිබෙන පිණිස කොකුවලින් තිර එකිනෙකට සම්බන්ධකෙළේය. 14මණ්ඩපයට උඩින් කූඩාරමක් පිණිස එළු ලොමින් තිර සෑදුවේය. එයාකාර තිර එකොළොසක් සෑදුවේය. 15එක එක තිරයේ දිග තිස් රියනක්ය, එක එක තිරයේ පළල හතර රියනක්ය. තිර එකොළොසම එක ප්‍රමාණ වූයේය. 16ඔහු තිර පහක් වෙනමද තිර හයක් වෙනමද මූට්ටුකෙළේය. 17මූට්ටුකළ තිරවල එක කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද මූට්ටුකළ අනික් තිරවල කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද සෑදුවේය. 18කූඩාරම එකක්ව තිබෙන පිණිස සන්ධි කිරීමට ඔහු පිත්තල කොකු පනසකුත් සෑදුවේය. 19රතු සායම් පෙවූ බැටළු සමින් කූඩාරමට වැස්මක්ද ඊ පිට තහෂ් සම්වලින් වැස්මක්ද සෑදුවේය.
20ඔහු මණ්ඩපයට ලෑලි ෂිටිම් ලීවලින් සාදා ඒවා කෙළින් පිහිටෙවුවේය. 21ලෑල්ලක දිග දස රියනක්ය, එක එක ලෑල්ලේ පළල එක් රියන් හමාරක්ය. 22එක එක ලෑල්ලට එකිනෙකට සම්බන්ධවූ කුඩිම්බි දෙකක් විය. මණ්ඩපයේ සියලු ලෑලිවලට ඔහු එසේ සෑදුවේය. 23මණ්ඩපයට සෑදූ ලෑලි මෙසේය: දකුණු දිසාවේ දකුණු පැත්තට ලෑලි විස්සක්ය. 24ලෑල්ලක කුඩිම්බි දෙකකට අඩි දෙකක් සහ අනික් ලෑල්ලෙහි කුඩිම්බි දෙකකට අඩි දෙකක් බැගින් ලෑලි විස්ස යට රිදී අඩි සතළිසක් සෑදුවේය. 25උතුරු දිසාවේ මණ්ඩපයේ දෙවෙනි පැත්තට ලෑලි විස්සක්ද 26එක එක ලෑල්ල යට අඩි දෙකක් බැගින් ඒවායේ රිදී අඩි සතළිසක්ද සෑදුවේය. 27අපරදිග මණ්ඩපයේ පසු පැත්තට ලෑලි සයක් සෑදුවේය. 28මණ්ඩපයේ පසු පැත්තෙහි මුලුවලට ලෑලි දෙකක්ද සෑදුවේය. 29යටින් ඒවා ද්විගුණ විය, එසේම මුදුනේ පළමුවෙනි වළල්ල දක්වාත් ද්විගුණ විය. ඔහු එසේ මුලු දෙකේ ඒ දෙකටම සෑදුවේය. 30එසේ ලෑලි අටක්ද සියලු ලෑලි යට අඩි දෙකක් බැගින් රිදී අඩි සොළොසක්ද විය. 31ඔහු මණ්ඩපයේ එක පැත්තක ලෑලිවලට පොලු පහක්ද 32මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට පොලු පහක්ද මණ්ඩපයේ අපරදිග පසු පැත්තේ ලෑලිවලට පොලු පහක්ද බැගින් ෂිටිම් ලීවලින් පොලු සෑදුවේය. 33ඔහු මැද පොල්ල ලෑලි මධ්‍යයෙහි එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා දිගටම තිබෙන හැටියට සෑදුවේය. 34ඔහු ලෑලි රනින් වසා පොලු දැමීමට වළලු රනින් සාදා පොලුත් රනින් වැසුවේය.
35ඔහු නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් තිරය සෑදුවේය. කෙරුබිම් රූප සහිතව දක්ෂ කර්මාන්ත කරුවෙකුගේ කර්මාන්තයෙන් එය සෑදුවේය. 36ඔහු ඒකට ෂිටිම් ලීවලින් කුළුනු සතරක් සාදා ඒවා රනින් වැසුවේය. ඒවායේ කොකු රනින් සාදා ඒවාට රිදී අඩි සතරකුත් වාත්තුකෙළේය. 37ඔහු කූඩාරමේ දොරකඩට නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූල්වලින් කඩතුරාවක් විසිතුරුකර වියා 38ඒකේ කුළුනු පහද ඒවායේ කොකුද සෑදුවේය. ඒවායේ පේකඩද ඒවායේ පටිද රනින් වැසුවේය. ඒවායේ අඩි පහ පිත්තලෙන් විය.

දැනට තෝරාගෙන ඇත:

නික්මයාම 36: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න