නික්මයාම 3:7-15

නික්මයාම 3:7-15 SROV

තවද ස්වාමීන්වහන්සේ කථාකොට: මිසරයේ වසන මාගේ සෙනඟගේ පීඩාව සැබවින්ම දුටිමි, ඔවුන්ගේ විධානවරුන් නිසා ඇති ඔවුන්ගේ මොරගැසීම ඇසීමි; මක්නිසාද ඔවුන්ගේ දුක් දනිමි; එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි. දැන් බලව, ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මොරගැසීම මා වෙතට පැමිණ තිබේ. මිසරවරුන් ඔවුන්ට කරන පීඩාවත් දුටිමි. ඉතින් එන්න, නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් පිටතට ගෙනෙන පිණිස මම ඵාරාවෝ වෙතට නුඹ යවන්නෙමියි කීසේක. එවිට මෝසෙස්: ඵාරාවෝ වෙතට යන්ටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් පිටතට ගෙනඑන්ටත් මම කවුදැයි දෙවියන්වහන්සේට කීය. උන්වහන්සේද: මම සැබවින් නුඹ සමඟ සිටින්නෙමි; මා විසින් නුඹ යැවූ බවට මේක නුඹට ලකුණක් වන්නේය; එනම් නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා කල්හි නුඹලා මේ කන්දේදී දෙවියන්වහන්සේට නමස්කාර කරන්නහුයයි කීසේක. මෝසෙස් කථාකොට: බැලුවමැනව, මා ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට පැමිණ–නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ නුඹලා වෙතට මා එවූසේකැයි ඔවුන්ට කී කල්හි: උන්වහන්සේගේ නාමය කිමෙක්දැයි ඔවුන් මාගෙන් අසන විට ඔවුන්ට කුමක් කියන්නෙම්දැයි දෙවියන්වහන්සේට කීවේය. එවිට දෙවියන්වහන්සේ කථාකොට: මම යම්සේ සිටිම්ද එසේම සිටිමියි මෝසෙස්ට කීසේක. තවද උන්වහන්සේ කියනසේක්: නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ස්වයම්භූ නම් තැනන්වහන්සේ නුඹලා වෙතට මා එවූසේකැයි කියන්නැයි කීසේක. තව දුරටත් දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා වෙතට මා එවූසේකැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්න. මෙය සදාකල්හිම මාගේ නාමයය, මෙය සියලු පරම්පරාවන්ට මාගේ සංඥා නාමයය.

මෙයට අදාළ වීඩියෝ

නික්මයාම 3:7-15 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය