නික්මයාම 3:11-22

නික්මයාම 3:11-22 SROV

එවිට මෝසෙස්: ඵාරාවෝ වෙතට යන්ටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් පිටතට ගෙනඑන්ටත් මම කවුදැයි දෙවියන්වහන්සේට කීය. උන්වහන්සේද: මම සැබවින් නුඹ සමඟ සිටින්නෙමි; මා විසින් නුඹ යැවූ බවට මේක නුඹට ලකුණක් වන්නේය; එනම් නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා කල්හි නුඹලා මේ කන්දේදී දෙවියන්වහන්සේට නමස්කාර කරන්නහුයයි කීසේක. මෝසෙස් කථාකොට: බැලුවමැනව, මා ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට පැමිණ–නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ නුඹලා වෙතට මා එවූසේකැයි ඔවුන්ට කී කල්හි: උන්වහන්සේගේ නාමය කිමෙක්දැයි ඔවුන් මාගෙන් අසන විට ඔවුන්ට කුමක් කියන්නෙම්දැයි දෙවියන්වහන්සේට කීවේය. එවිට දෙවියන්වහන්සේ කථාකොට: මම යම්සේ සිටිම්ද එසේම සිටිමියි මෝසෙස්ට කීසේක. තවද උන්වහන්සේ කියනසේක්: නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ස්වයම්භූ නම් තැනන්වහන්සේ නුඹලා වෙතට මා එවූසේකැයි කියන්නැයි කීසේක. තව දුරටත් දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා වෙතට මා එවූසේකැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්න. මෙය සදාකල්හිම මාගේ නාමයය, මෙය සියලු පරම්පරාවන්ට මාගේ සංඥා නාමයය. නුඹ ගොස් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් රැස්කොට: නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිවූ ස්වාමීන්වහන්සේ මට පෙනී: සැබවින් මම නුඹලා බලා වදාරා මිසරයෙහිදී නුඹලාට කෙරෙන දේ දුටිමි. මම නුඹලා මිසරයේ පීඩාවෙන් මුදා කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශය වූ කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට පමුණුවන්නෙමියි කීයෙමියි මට කීසේකැයි ඔවුන්ට කියන්න. ඔවුන් නුඹේ හඬට ඇහුම්කන්දෙනවා ඇත. නුඹද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද මිසරයේ රජු වෙතට ගොස්:-හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට සම්මුඛවූසේක: එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස තුන් දවසක ගමන් වනාන්තරයට යන්ට අපට අවසරදෙන ලෙස ඉල්ලමුයයි ඔහුට කියන්න. නමුත් බලවත් අතකින් වුවත් මිසරයේ රජු නුඹලාට යන්ට අවසර නොදෙන බව දනිමි. මමද මාගේ අත දිගුකොට මිසරය මධ්‍යයෙහි කරන්නාවූ මාගේ සියලු හාස්කම්වලින් ඊට පහර දෙන්නෙමි. එයින් පසු ඔහු නුඹලා යන්ට හරින්නේය. මම මිසරවරුන්ගේ ඇස් හමුවෙහි මේ සෙනඟට කරුණාව ලැබෙන්ට සලස්වන්නෙමි. තවද නුඹලා යන කල්හි හිස් අතින් නොයන්නහුය. එහෙත් එක එක ස්ත්‍රී තම තමාගේ අසල්වාසී ස්ත්‍රියගෙන්ද තම තමාගේ ගෙයි නැවතී සිටින්නියගෙන්ද රිදී බඩුත් රන් බඩුත් වස්ත්‍රත් ඉල්වාගන්නීය. නුඹලා ඒවා නුඹලාගේ පුත්‍රයන්ටද දූවරුන්ටද පළඳවන්නහුය; මෙසේ නුඹලා මිසරවරුන්ගේ වස්තුව ගන්නහුයයි කීසේක.