තවද ලෙවීගේ වංශයේ මනුෂ්‍යයෙක් ගොස් ලෙවීගේ දුවක් පාවාගත්තේය. ඒ ස්ත්‍රී ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර ඔහු ශෝභමාන දරුවෙකු බව දැක තුන් මසක් ඔහු සඟවා ගත්තාය. තවත් ඔහු සඟවාගන්ට නොහැකිවූ කල්හි ඈ පන් පෙට්ටියක් ගෙන ඒකේ කීල් සහ ලාටු ගා දරුවා එහි තබා ගංඉවුරේ පන්ගස් අතරේ තැබුවාය. ඔහුගේ සහෝදරී ඔහුට කුමක් වන්නේදැයි දැනගන්නා පිණිස දුරින් බලා සිටියාය. ඵාරාවෝගේ දුව ගඟේ නෑමට ආවාය; ඈ සමඟ වූ තරුණියෝ ගංඉවුරේ ඇවිද්දෝය; ඈ පන්ගස් අතරේ පෙට්ටිය තිබෙනවා දැක ඒක ගෙනෙන්ට ඇගේ දාසිය ඇරියාය. ඒක ඇරිය කල ඕ තොමෝ දරුවා දුටුවාය. බලව, බිලිඳා ඇඬුවේය. ඈ ඔහු කෙරෙහි අනුකම්පාකොට: මොහු හෙබ්‍රෙව්වන්ගේ දරුවෙකැයි කීවාය. එවිට ඔහුගේ සහෝදරී ඵාරාවෝගේ දුවට කථාකරමින්: ඔබ උදෙසා දරුවාට කිරිදෙන පිණිස මා ගොස් හෙබ්‍රෙව් ස්ත්‍රීන්ගෙන් කිරිමවක් කැඳවාගන එන්ටදැයි ඇසුවාය. ඵාරාවෝගේ දුවද: යන්නැයි ඈට කීවාය. එවිට තරුණී ගොස් දරුවාගේ මවු කැඳවාගෙන ආවාය. ඵාරාවෝගේ දුව: මේ දරුවා ගෙනගොස් මා උදෙසා කිරි දෙන්න, මම නුඹට කුලී දෙන්නෙමියි කීවාය. ඒ ස්ත්‍රී දරුවා ගෙන ගොස් කිරි දී හැදුවාය. දරුවා වැඩුණු කල ඈ ඔහු ඵාරාවෝගේ දියණිය වෙතට ගෙනාවාය, ඔහු ඇගේ පුත්‍රයා වුණේය. ඈ වනාහි: මා ඔහු වතුරෙන් ඇදගත් නිසාය කියා ඔහුට මෝසෙස් යයි නම් තැබුවාය. මෝසෙස් වැඩි වයසට පැමුණුණු කල තමාගේ සහෝදරයන් වෙතට ගොස් ඔවුන්ගේ බර වැඩ බලා සිටියේය. එවිට ඔහු තමාගේ සහෝදරවූ හෙබ්‍රෙව්වෙකුට මිසරයෙක් ගහනවා දුටීය. ඔහු ඔබ මොබ බලා කිසිවෙකු ළඟ නොසිටි බව දැක මිසරයා මරා වැල්ලෙහි සැඟෙවුවේය. ඔහු පසුවදා පිටතට ගිය කල, බලව, හෙබ්‍රෙව් මිනිසුන් දෙදෙනෙක් ගහගනිමින් සිටියෝය. නුඹ කුමක් හෙයින් නුඹේ අසල්වාසියාට පහරදෙන්නෙහිදැයි ඔහු වැරැද්ද කළ අයට කීය. එවිට හෙතෙම අප කෙරෙහි අධිපතියෙක්ද විනිශ්චයකාරයෙක්ද කොට නුඹ පත්කළේ කවුද? නුඹ මිසරයා මැරුවාක් මෙන් මාත් මරන්ට සිතන්නෙහිදැයි කීය. එවිට මෝසෙස් භයව: සැබවින්ම මේ කාරණය එළදරව්වී තිබේයයි කීවේය. ඵාරාවෝ ඒ දේ අසා මෝසෙස් මරන්ට සෙවීය. නුමුත් මෝසෙස් ඵාරවෝ කෙරෙන් පලාගොස් මිදියන් දේශයෙහි වාසය කෙළේය. ඔහු ළිඳක් ළඟ හිඳගත්තේය. මිදියන්හි පූජකයාට දූවරු සත් දෙනෙක් වූහ. ඔව්හු අවුත් තමන් පියාගේ එළු බැටළු රැළට පොවන පිණිස වතුර ඇද ඔරුවල පිරෙවුවෝය. එඬේරු අවුත් ඔවුන් එළෙවුවෝය. එහෙත් මෝසෙස් නැගිට ඔවුන්ට උපකාර කොට ඔවුන්ගේ සිව්පාවුන්ට වතුර පෙවුවේය. ඔවුන් තමන් පියවූ රූවෙල් වෙතට ආ කල: නුඹලා අද මෙපමණ වේලාසනින් ආවේ කොහොමදැයි ඔහු ඇසුවේය. ඔව්හුද: මිසරයේ මනුෂ්‍යයෙක් එඬේරුන්ගේ අතින් අප ගැළෙවුවේය. ඒ ඇර අපට වතුරත් ඇද දී සිව්පාවුන්ට පෙවුවේයයි කීවෝය. ඒ මනුෂ්‍යයා කොහේද? ඔහු ඇරලා ආවේ මක්නිසාද? කෑම කන පිණිස ඔහුට අඬගසන්නැයි ඔහු තමාගේ දූවරුන්ට කීවේය. මෝසෙස් ඒ මනුෂ්‍යයා සමඟ විසීමට සතුටුවිය. ඔහු තමාගේ දූවූ ශිප්පොරා මෝසෙස්ට පාවාදුන්නේය. ඈ පුත්‍රයෙකු බිහිකළාය. මෝසෙස්: අන් දේශයක ආගන්තුකයෙක්ව සිටියෙමියි කියා ඔහුට ගේර්ෂොම් යන නම තැබීය.
නික්මයාම 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 2:1-22
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ