නික්මයාම 14:1-12

නික්මයාම 14:1-12 SROV

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට–හැරී මිග්දෝල් සහ මුහුද අතරෙහි බාල්-ශෙඵොන් ඉදිරිපිට තිබෙන පී-හහීරොත් ඉදිරිපිට කූඩාරම් ගහගන්ට ඔවුන්ට කියන්න. එය ඉදිරිපිට මුහුද ළඟ කූඩාරම් ගහගන්න. ඵාරාවෝද: ඔව්හු දේශයෙහි මංමුළාවී සිටිති, ඔව්හු කාන්තාරයට අසුවී සිටිතියි ඉශ්‍රායෙල් පුත්‍රයන් ගැන කියනවා ඇත. මම ඵාරාවෝගේ සිත දැඩිකරන්නෙමි, ඔහු ඔවුන් ලුහුබැඳ එන්නේය; මම ඵාරාවෝ සහ ඔහුගේ මුළු සේනාව කරණකොටගෙන ගෞරව ලබන්නෙමි; මිසරවරු මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නෝයයි කීසේක. ඔව්හු එසේ කළෝය. සෙනඟ පලාගිය බව මිසරයේ රජුට දන්වනලද්දේය. එවිට ඵාරාවෝ සහ ඔහුගේ මෙහෙකරුවන්ගේ සිත් සෙනඟට විරුද්ධව වෙනස්වී ඉශ්‍රායෙලිතයන් අපට මෙහෙකිරීමෙන් යන්ට හැර අප විසින් කළේ මොන ක්‍රියාවක්දැයි ඔව්හු කීවෝය. ඔහු තමාගේ රථය සූදානම්කර ගෙන තමාගේ සෙනඟ තමා සමඟ රැගෙන, තෝරාගත් රථ හසියයක්ද මිසරයේ සියලු රථද ගත්තේය, ඒවා සියල්ල කෙරෙහි සේනා නායකයන්ද පත්කෙළේය. ස්වාමීන්වහන්සේ මිසරයේ රජවූ ඵාරාවෝගේ සිත දැඩි කළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් ලුහුබැඳ ආයේය. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ධෛර්යවත් ලෙස නික්ම ගියෝය. මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අසුන් සහ රථද ඔහුගේ අසරුවෝද ඔහුගේ සේනාවද ඔවුන් ලුහුබැඳ විත් බාල්-ශෙඵොන් ඉදිරිපිට පී-හහීරොත්හි මුහුදුබඩ කූඩාරම් ගහගන සිටි ඔවුන්ට ළංවූය. ඵාරාවෝ ළංවූ කල්හි ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමන්ගේ ඇස් ඔසවා මිසරවරුන් තමන් පස්සේ එනවා දැක අතිශයින් භයවූවෝය. එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය. ඔව්හු මෝසෙස්ට කථාකොට: කාන්තාරයෙහි මැරෙන්ට නුඹ අප ගෙනාවේ මිසරයෙහි මිනීවළවල් නැති නිසාද? මිසරයෙන් අප ගෙනවුත් අපට මෙලෙස ක්‍රියා කෙළේ මක්නිසාද? මිසරවරුන්ට මෙහෙකරන්ට අප අත්හරින්ටය කියා මිසරයෙහිදී අප කීවේ මේක නොවේද? වනාන්තරයෙහි මැරෙනවාට වඩා මිසරවරුන්ට මෙහෙකිරීම අපට යහපතැයි මෝසෙස්ට කීවෝය.

නික්මයාම 14:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය