එස්තර් 4:6-16

එස්තර් 4:6-16 SROV

මෙසේ හාතාක් රජවාසල් දොරටුව ඉදිරිපිට නුවර වීදියේ සිටි මොර්දෙකයි ළඟට ගියේය. එවිට මොර්දෙකයි තමාට සිද්ධවුණ සියල්ලත් යුදෙව්වරුන් නැති කරන පිණිස හාමාන් විසින් ඔවුන් ගැන රාජ භාණ්ඩාගාරයට ගෙවන්ට පොරොන්දුවූ මුළු මුදල් ගණනත් ඔහුට කීයේය. තවද ඔවුන් විනාශකරන්ට ෂූෂන්හිදී දුන් නියෝගපත්‍රයේ පිටපත එස්තර්ට පෙන්වා දන්වන පිණිස ඔහුට දී, ඈ රජු ළඟට ගොස් ඔහුට කන්නලව් කර ඇගේ සෙනඟ උදෙසා ඔහුගෙන් කරුණාව ඉල්ලන පිණිස ඈට අණකරන ලෙසද ඔහුට කීයේය. හාතාක් ඇවිත් මොර්දෙකයිගේ වචන එස්තර්ට දැන්නුවේය. එකල එස්තර් හාතාක්ට කථාකොට: අඬගසනු නොලැබ ඇතුල්මළුවට රජු වෙතට ඇතුල්වෙන කොයි පුරුෂයෙකු වුවත් ස්ත්‍රියෙකු වුවත් නොනස්නා පිණිස රජ ඒ අය දෙසට රන් ජයකොන්තය දිගුකළොත් මිස, නැත්නම් ඔහු ගැන ඇත්තේ එකම නියමයක් බව එනම් ඔහු මැරිය යුතු බව රජුගේ සියලු සේවකයෝද රජුගේ රටවල සෙනඟද දනිති. ඇරත් රජු ළඟට යන්ට දැනට තිස් දවසකින් මම කැඳවනු නොලැබීමියි කියා මොර්දෙකයිට කියන්ට අණකළාය. එස්තර්ගේ වචන මොර්දෙකයිට දන්වනලද්දේය. එවිට මොර්දෙකයි එස්තර්ට උත්තර යවමින්: රජගෙදර ඉන්න නිසා සියලු යුදෙව්වරුන්ගෙන් නුඹ පමණක් ගැළවේය කියා සිතා නොගන්න. මක්නිසාද මේ ප්‍රස්තාවේදී නුඹ නිශ්ශබ්දවම සිටියොත් වෙන තැනකින් යුදෙව්වරුන්ට නිදහසත් ගැළවීමත් පැමිණෙනවා ඇත, නුමුත් නුඹ සහ නුඹේ පියවංශය නැතිවන්නේය. නුඹ රාජ්‍යයට පැමුණුණේ මෙවැනි ප්‍රස්තාවක් නිසාම නොවේද කියා දන්නේ කවුදැයි කියා කියන්ට අණකෙළේය. එවිට එස්තර් මොර්දෙකයිට උත්තර යවමින්: ගොස් ෂූෂන්හි සිටින සියලු යුදෙව්වරුන් රැස්කරවා, මා උදෙසා ඔවුන් සමඟ දවස් තුනක් රෑ දාවල් නොකා නොබී නිරාහාරව සිටින්න. මමත් මාගේ වැඩකාරියොත් එසේම නිරාහාරව ඉන්නෙමුව; එවිට නීතියට එකඟ නැති නුමුත් මම රජු ළඟට යන්නෙමි. මා නැතිවුණොත් නැතිවුණාවේ කියා කියන්ට කීවාය.