එස්තර් 4:5-11

එස්තර් 4:5-11 SROV

එවිට එස්තර් ඈට මෙහෙකරන පිණිස රජු විසින් පත්කළ නපුංසකයන්ගෙන් එක්කෙනෙක්වූ හාතාක්ට අඬගසා, කාරණාව මොකද කියාත් මේ මක්නිසාද කියාත් ගොස් මොර්දෙකයිගෙන් දැනගන්ට අණකළාය. මෙසේ හාතාක් රජවාසල් දොරටුව ඉදිරිපිට නුවර වීදියේ සිටි මොර්දෙකයි ළඟට ගියේය. එවිට මොර්දෙකයි තමාට සිද්ධවුණ සියල්ලත් යුදෙව්වරුන් නැති කරන පිණිස හාමාන් විසින් ඔවුන් ගැන රාජ භාණ්ඩාගාරයට ගෙවන්ට පොරොන්දුවූ මුළු මුදල් ගණනත් ඔහුට කීයේය. තවද ඔවුන් විනාශකරන්ට ෂූෂන්හිදී දුන් නියෝගපත්‍රයේ පිටපත එස්තර්ට පෙන්වා දන්වන පිණිස ඔහුට දී, ඈ රජු ළඟට ගොස් ඔහුට කන්නලව් කර ඇගේ සෙනඟ උදෙසා ඔහුගෙන් කරුණාව ඉල්ලන පිණිස ඈට අණකරන ලෙසද ඔහුට කීයේය. හාතාක් ඇවිත් මොර්දෙකයිගේ වචන එස්තර්ට දැන්නුවේය. එකල එස්තර් හාතාක්ට කථාකොට: අඬගසනු නොලැබ ඇතුල්මළුවට රජු වෙතට ඇතුල්වෙන කොයි පුරුෂයෙකු වුවත් ස්ත්‍රියෙකු වුවත් නොනස්නා පිණිස රජ ඒ අය දෙසට රන් ජයකොන්තය දිගුකළොත් මිස, නැත්නම් ඔහු ගැන ඇත්තේ එකම නියමයක් බව එනම් ඔහු මැරිය යුතු බව රජුගේ සියලු සේවකයෝද රජුගේ රටවල සෙනඟද දනිති. ඇරත් රජු ළඟට යන්ට දැනට තිස් දවසකින් මම කැඳවනු නොලැබීමියි කියා මොර්දෙකයිට කියන්ට අණකළාය.