එස්තර් 3:1-11

එස්තර් 3:1-11 SROV

මේ කාරණාවලට පසු අහෂ්වේරොෂ් රජ අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන් උසස්කරමින් උතුම්කමට පමුණුවා, තමා වෙත සිටිය සියලු අධිපතීන්ට වඩා උත්තම ආසනයක් ඔහුට දුන්නේය. රජවාසල සිටි රජුගේ සියලු සේවකයෝද හාමාන්ට නැමී වැන්දෝය. මක්නිසාද ඔහු ගැන රජ එසේ අණකර තිබුණේය. නුමුත් මොර්දෙකයි ඔහුට හිස නැමුවේවත් වැන්දේවත් නැත. එවිට රජවාසල සිටි රජුගේ සේවකයෝ: නුඹ රජුගේ අණ කඩකරන්නේ මක්නිසාදැයි මොර්දෙකයිට කීවෝය. ඔවුන් දවස්පතා ඔහුට මෙසේ කී නුමුත් ඔහු ඇහුම්කන්නුදුන් බැවින්, මොර්දෙකයිගේ කාරණා ස්ථිරවේදෝ කියා බලන පිණිස ඔව්හු හාමාන්ට දැන්නුවෝය. මක්නිසාද තමා යුදෙව්වෙක් බව මොර්දෙකයි ඔවුන්ට කියා තිබුණේය. මොර්දෙකයි තමාට නැමී නමස්කාර නොකරන බව හාමාන් දැක කෝපයෙන් පිරුණේය. නුමුත් මොර්දෙකයි කෙරෙහි පමණක් අත් හෙළීම ඔහුට ඉතා සුළුව පෙනුණේය; මක්නිසාද මොර්දෙකයිගේ ජාතිය ගැන ඔහුට දන්වනලද්දේය. එබැවින් හාමාන් අහෂ්වේරොෂ්ගේ මුළු රාජ්‍යයෙහි සිටි මොර්දෙකයිගේ සෙනඟවූ සියලු යුදෙව්වරුන් නැතිකරන්ට සෙවුවේය. අහෂ්වේරොෂ් රජුගේ දොළොස්වෙනි අවුරුද්දේ නීසාන් මාසය නම්වූ පළමුවෙනි මාසයේ පටන් හාමාන් ඉදිරියෙහි දවසින් දවස මාසයෙන් මාසය අදාර් මාසය නම්වූ දොළොස්වෙනි මාසය දක්වා පූර් එනම් පසඇට දැමුවෝය. එවිට හාමාන් අහෂ්වේරොෂ් රජුට කථාකොට: ඔබගේ රාජ්‍යයේ සියලු රටවල ජාතීන් අතරේ එක්තරා සෙනඟක් විසිර වෙනම සිටිති; ඔවුන්ගේ ව්‍යවස්ථා සියලු ජනයන්ගේ ව්‍යවස්ථාවලට වෙනස්ය; ඔවුන් රජුගේ ව්‍යවස්ථා පවත්වන්නේ නැත. එහෙයින් ඔවුන්ට සිටින්ට ඉඩදීම රජ්ජුරුවන්ට වටින්නේ නැත. රජතුමා ප්‍රසන්න නම් ඔවුන් නැතිකරදමන හැටියට ලියාහරිනු ලැබේවා. මමද රාජ භාණ්ඩාගාරයට ගෙනෙන පිණිස රාජකාරිය භාරකාරයන් අතට රිදී තලෙන්ත දසදහසක් කිරා දෙන්නෙමියි කීවේය. රජ තමාගේ අතින් මුදුව ගළවා යුදෙව්වරුන්ගේ සතුරාවූ අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන්ට දී ඔහුට කථාකොට: රිදී නුඹට වේවා, නුඹට හොඳව පෙනෙන දෙයක් කරන්ට ඒ සෙනඟ එසේම නුඹටදී තිබේයයි කීවේය.

මෙයට අදාළ වීඩියෝ