එස්තර් 2:10-20

එස්තර් 2:10-20 SROV

එස්තර් තොමෝ ඇගේ ජාතියවත් ඇගේ සෙනඟවත් එළිදරව් නොකළාය; මක්නිසාද එළිදරව් නොකරන ලෙස මොර්දෙකයි ඈට අණකර තිබුණේය. මොර්දෙකයි වනාහි එස්තර්ගේ ශුභසිද්ධියත් ඈට මක්වේද කියාත් දැනගන්න පිණිස ස්ත්‍රීන්ගේ ගෙයි මිදුල ඉස්සරහපිට දවස්පතා ඇවිද්දේය. එක එක තරුණිය ස්ත්‍රීන්ගේ නියෝගය ප්‍රකාරයට දොළොස් මාසයක් වන ඔවුන්ගේ පවිත්‍රවීමේ කාලයෙන් පසු, එනම් සුවඳලාටු තෙල් සමසක්ද සුගන්ධ ද්‍රව්‍ය සහ ස්ත්‍රීන්ගේ පවිත්‍රවීමේ තෛල සමසක්ද පාවිච්චිකළායින් පසු, අහෂ්වේරොෂ් රජු ළඟට යන්ට ඒ ඒ තැනැත්තියගේ වාරය පැමුණුණාම, ඈ රජු ළඟට පැමුණුණේ මෙසේය, එනම් ස්ත්‍රීන්ගේ ගෙයින් ඈ සමඟ ගෙනයන පිණිස ඈ ඉල්ලූ කොයි දෙයක් වුවත් ඈට දෙනලද්දේය. ඈ සවස ගොස් පසුවදා ස්ත්‍රීන්ගේ දෙවෙනි ගෙට, රජුගේ නපුංසකයාවූ උප භාර්යාවන්ගේ රැකවලාවූ ෂයෂ්ගාස්ගේ රැකවරණයට, හැරී ආවාය. රජු ඈට ප්‍රියව නම කියා ඈට අඬගැසුවොත් මිස නැත්නම් ඈ රජු ළඟට තවත් පැමුණුණේ නැත. මොර්දෙකයි විසින් දුවකොට හදාගත්තාවූ, තමාගේ බාප්පා වන අබිහයිල්ගේ දූවූ එස්තර්ට රජු ළඟට යාමට වාරය පැමුණුණ විට රජුගේ නපුංසකයාවූ, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයි නියමකළ දේ හැර ඈ වෙන කිසිවක් නොඉල්ලුවාය. එස්තර් දුටු සියල්ලෝ ඈට ප්‍රියවුණෝය. මෙසේ එස්තර් තොමෝ අහෂ්වේරොෂ් රජුගේ රජකම්කිරීමේ සත්වෙනි අවුරුද්දේ තේබෙත් නම් දසවෙනි මාසයේදී රජගෙට රජු වෙතට ගෙනයනු ලැබුවාය. රජද සියලුම ස්ත්‍රීන්ට වඩා එස්තර්ට ආදරේවී, සියලු කන්‍යාවන්ට වඩා ඈට කරුණාවද ආදරයද පෙන්වා, ඇගේ හිසේ රාජ ඔටුන්න තබා, වස්තී වෙනුවට ඇය බිසව කරගත්තේය. රජ තමාගේ සියලු අධිපතීන් හා සේවකයන්ට එස්තර්ගේ මංගල්‍යය වන මහත් මංගල්‍ය කෑමක් පිළියෙළකර දුන්නේය; රටවලට නිදහසක්ද දී රජුගේ ත්‍යාගවත්කම ලෙස තෑගි දුන්නේය. දෙවෙනි වතාවේ කන්‍යාවන් රැස්කරන කල මොර්දෙකයි රජවාසල හිඳගන උන්නේය. එස්තර් මොර්දෙකයි ඈට අණකළ ලෙස ඇගේ සෙනඟත් ජාතියත් නොදන්වා සිටියාය. මක්නිසාද එස්තර් මොර්දෙකයි වෙත වැඩෙද්දී කළාක්මෙන් ඈ ඔහුගේ කීම ඉෂ්ටකළාය.